Reproductive health should be taught at the proper age, not at a young age - Dinesh Muthugala

physiological-health-should-be-taught-not-at-a-young-age-but-at-an-appropriate-age---dinesh-muthugala

දෙණියාය පල්ලේගම ද්විතීයික පාසලේ වාර්ෂික ත්‍යාග ප්‍රදාන උත්සවයට පූජ්‍ය පල්ලේගම විජිත නාහිමියන්ගේ ආරාධනය පරිදි ජනප්‍රිය දේශක දිනේෂ් මුතුගල මහතා ද ආරාධිතයෙක් ලෙසින් එක්ව සිටි අතර එහිදී ඔහු කළ කථාව සමාජ මාධ්‍ය තුළ දැන් කථාබහක් ඇති කර තිබේ. එම කථාවේ සම්පූර්ණ ලිඛිත පිටපත පහත පරිදිය.




"සුදු මහත්තුරුන්ගෙන්, චූටි මැණිකලාගෙන් අවසරයි.

ඔයාලා තමයි මේ රට දුවවන්න ඉන්නේ. ඒ නිසා ඔයාලා අපිට චූටි මහත්තුරු, ඔයාලා අපිට චූටි නෝනලා. කවුද දන්නේ අනාගත ජනාධිපති මෙතන ඉන්නවද කියලා? කවුද දන්නේ?




ඒ නිසා ගින්දරයි කුමාරයෝයි එක්ක සෙල්ලම් කරන්න එපා කියනවා. ඔය ළමයින්ට විහිළු කරනකොට බලාගෙන. කුමාරයෝට විහිළු කරන්න හොඳ නැහැ දවසක රජ වෙනවා. ඒ නිසා මේ සියලු දෙනාගෙන් අවසර පතමින් මම පල්ලේගම විද්‍යාලයට මේ මොහොතේ පැමිණීමේ භාග්‍ය ගැන කියන්නයි යන්නේ.

එතකොට දැන් අද සම්මතයක් බිඳලා නේ. සම්මතය බිඳ බිඳේ මොකක්ද, මේ ටියුෂන් සහ පාසල් ගුරුවරු අතර තියෙනවනේ පොඩි ඝට්ටනයක්. අපි ඇත්ත කතා කරමු, අපි අපි නේ. ඒ ඝට්ටනය පවා අද බිඳින්නේ. ඒකම මදැයි. ඒකම ඇති නේ.



මම මේ කල්පනා කළේ මේ රටේ එහෙම සමගියෙන් ඉන්න පුළුවන් නම් කොච්චර දේවල් ඉස්සරහට කරන්න පුළුවන් වෙයිද? ඒ කියන්නේ මේ පෞද්ගලික අංශයේ, රජයේ අංශයේ කියලා දෙවිදියකට දෙපැත්තට බෙදාගෙන මරා ගන්නේ නැතුව, මේගොල්ලෝ එකතු වෙලා මේ රට දුවන්න පුළුවන් වුනොත් අපිට බොහොම පොඩි කාලයකින් නැගිටින්නත් පුළුවන් වෙයි. සමහර විට මේ නිර්මාණය කරලා තියෙන ගැටුම් කුමන්ත්‍රණ වෙන්නත් පුළුවන්. අපි ඒක දැනගෙනයි යන්න ඕනේ. මොකද මේ රට බොහෝ කුමන්ත්‍රණ වලින් එක එක වෙලාවලට වැටුනා. මම ඒ කරුණු ඔබට එකින් එක කියන්නම්.

ඊළඟට දැන් දුර්මත කීපයක් තියෙනවා ඉස්සෙල්ලා බිඳින්න ඕන. නැත්නම් මේ කතාව අහන්න හිතෙන්නේ නැහැ. ඔය ඒවා හොල්මන් කරනවා හිතේ.

පළවෙනි එක, මම ඡන්දෙ ඉල්ලන්නේ නැහැ. ඕක කියන්න එපා අපේ හාමුදුරුවනේ එහෙනම්. දැන් මට මේ පහුගිය කාලේ අර හෙලිකොප්ටර් එකේ ගිහිල්ලා මොනවද නොකිව්වේ. මොනවද මට නොකිව්වේ. මේ මම ඡන්දෙ ඉල්ලන්නේ නැහැ. මට එහෙම මේ අහේනියක් නැහැ. මිනිස්සුන්ගේ ආදරය තියෙනවා. දැන් මේ ඔය චූටි දරු දැරියෝ ඇවිල්ලා හිනා වෙලා යනවා. ඉතින් ඕක මම මොකටද විහිළු නැති කරගන්නේ? සහ මේ රටේ මිනිස්සුන්ට යම් නායකත්වයක් දෙන්න දේශපාලනයට එන්නම ඕන කියලා එකක් එහෙම නැහැ. නායකයෝ බිහිවෙන්නේ හදවතින්. ඒකට දේශපාලනය ඕන නැහැ. හැබැයි දේශපාලඥයින්ට බනින්න එපා. ඒ මිනිස්සුත් රටේ යම් වැඩක් කරනවා. දැන් අර අපි බනින්න ඕන දේටයි විපාදයටයි ඔක්කොටම තලන්න ගත්තම අර කම්මලේ බල්ලා වගේ වෙනවා.

දැන් මෙතන චූටිම ළමයි නැති නිසා මම මේ ටිකේ, අර දැන් ටිකක් ආන්දෝලනාත්මක පැතිකඩකුත් තියෙන නිසා මම කියනවා, දැන් මේ මුතුගල සර් ප්‍රජනනය පාඩම උගන්නනවා කියලා ප්‍රසිද්ධ කතාත් තියෙනවා. දැන් හාමුදුරුවනේ මම ජීව විද්‍යා ගුරුවරයෙක්. එතකොට මගේ තියෙන ලොකු ඒකකයක්, කොටසක් තමයි මානව ප්‍රජනනය. ඒක ඉතින් මම මේ පාඩම වශයෙන් තියරි ළමයින්ට උගන්වන්න ඕන. දැන් තියෙනවා ඔන්ලයින් කියලා ක්‍රමවේදයක්. අපිත් පන්ති කරනකොට, දැන් අම්මේ තාත්තේ මේ වගේ තමයි කැමරා අරගෙන වීඩියෝ කරනවා. ඔහොම තමයි දැන් අපි පන්ති කරන්නේ.

ඔබ බලන්න මට තියෙන්නේ එක ඔෆිෂල් යූටියුබ් (Official YouTube) නාලිකාවක් විතරයි. ඒකෙ මම කිසිම තැනක ඔය පාඩමේ කොටස් දාලා නැහැ. ඒ දාලා නැත්තේ මම දන්නවා ඔයාලා පොඩි ළමයි බලනවා කියලා. මොකද පොඩි ළමයට පොඩි ළමයා කියලා කාලයක් තියෙන්න ඕනේ. දැන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ගැන කතා වෙනවනේ. ප්‍රතිසංස්කරණයක් ඕන. ඒක එපා නෙමෙයි. කවුරුහරි එපා කියනවා නම් ඒක වැරදියි. ප්‍රතිසංස්කරණයක් ඕන. හැබැයි හරි එකක්. හරි එකක් ඕන. යම් යම් වැරදි අඩුපාඩු තියෙනවා නම් ඒවා නිවැරදි කරගන්න ඕනේ. මිනිස්සු අතින් වැරදි වෙනවා. වැරදි නිවැරදි කරගන්නත් ඕන. වැරදි වලට සමාව දෙන්නත් ඕන. එකම වරද නැවත නැවත නොවෙන්නත් ඕන. හැමදේම ඕනේ.



එතකොට මේ ලොකු කලබගෑනියක් තියෙනවනේ ළමයින්ට මේ ප්‍රජනක සෞඛ්‍ය දැනගන්න ඕනේ, ඒගොල්ලන්ට කියලා දෙන්න ඕනේ කියලා. මේ දෙමව්පියන්ට මම දෙයක් කියලා යන්නම්, ප්‍රජනක සෞඛ්‍ය කියන එක දැනගන්න ඕනේ ළමයි නෙමෙයි. මේක මම කියද්දී බනී සමහර විට මිනිස්සු. ළමයි දැනගන්න ඕනේ ගුණධර්ම. අම්මට තාත්තට කීකරු වෙන්න. අම්මා තාත්තා කියන දේ අහන්න. ගුරුවරු කියන දේ අහන්න. ඒවා මිස ලිංගික පද්ධතිය ගැන නෙමෙයි. ඒක පටලව ගන්න එපා. පිට රටවල තියෙන හැම ගුලියම ගිලින්න එපා. ඒවා ගැලපෙන රටවල් තියෙනවා, නොගැලපෙන රටවල් තියෙනවා. ළමයි ඉන්න ඕනේ ළමයි විදිහට. ප්‍රජනක සෞඛ්‍ය දැනගන්න ඕනේ, ප්‍රජනක සෞඛ්‍ය දැනගන්න උවමනා කාලයේදී. නොමේරූ හිත් වලට මේක දීලා බෑ.

මම ඒකයි මේ කතාව කියද්දීම කලින් පටන් ගත්තේ. එතකොට දැන් පෙරලලා මගෙන් ප්‍රශ්න ඇසිය හැකියි, "එහෙනම් ඔබතුමා උගන්වන්නේ ඇයි?" කියලා. මම උගන්වන්නේ ඒ නිසි වයසේ ඉන්න අයට. මම මේ පුංචි ළමයි හොය හොයා යන්නේ නෑ ඕක උගන්නන්න. මම උගන්වන්නේ නිසි වයසේ ඉන්න අයට. එතකොට මම ඒ අයට ඒක නිර්මාණශීලීව කියලා දෙන්න ඕනේ. අනිත් එක අපේ හාමුදුරුවනේ, ඔය ප්‍රජනක සෞඛ්‍ය කියන එක අපි හිතන මට්ටමේ ලේසි එකක් නෙමෙයි. ඕකේ ලොකු යාන්ත්‍රණ තියෙනවා. ඕකේ හෝමෝනමය වෙනස් වීම් සම්බන්ධව තියෙන යාන්ත්‍රණ හරි සංකීර්ණයි. ඒවා ළමයින්ගේ හිත් වලට දෙන්න යම් උපක්‍රමශීලී ක්‍රමයක් පාවිච්චි කරන්න ඕනේ. ගුරුවරයෙක් කියන්නේ එහෙම කෙනෙක් නේ. ගුරුවරයෙක් කියලා කියන්නේ තමන්ගේ ශිල්පය ළමයින්ට සම්ප්‍රේෂණය කරන්න මොනවා හරි සරල ක්‍රමයක් හොයාගන්න මනුස්සයෙක්ටනේ. ඒක තියෙනවට වඩා අමාරු කරලා බෑනේ.

අන්න ඒ නිසා මේ ගැටලු දෙක ලෙහා ගන්න. නැත්නම් මේ කතාව අහනකොට ඔය කිලිටි එනවා හිතට. "ආ මුතුගල සර් පල්ලේගම පැත්තෙන් පාර්ලිමේන්තු ඉල්ලයිද?" වගේ ඒවා. ඒ වගේම මේ විවිධාකාර විදිහට රටේ ප්‍රසිද්ධියට පත් වෙලා, සම්භාවනීය තත්ත්වයට පත් වුණු පිරිස ඔබ දරුවන්ගේ ඇස් වලට දකින්න ලැබෙනවා මේ ස්වාමීන් වහන්සේ නිසා. බලන්නකෝ කොච්චර ලොකු මෝටිවේෂන් (Motivation) එකක්ද කියලා ඒක.

මිනිස්සු කිරි බොන්න ඕනේ, කිරි වලින් වැඩ ගන්න ඕනේ, ඔක්කොම හරි. හැබැයි අපි ඇයි ඉරමුසු එකක් බොන්නේ නැත්තේ? ඇයි ඖෂධ කෝප්පයක් බොන්නේ නැත්තේ? ඇයි පස් පංගුව ටිකක් බොන්නේ නැත්තේ? ඇයි? මම කියන්නේ ඇත්ත හේතුව "ගොඩයෝ" කියලා ටැග් ලයින් එකක් වදිනවා. ඔන්න ජාතියක් විදිහට අපි ගෙවන කරුමේ. ගොඩයෝ වෙන්න තියෙන අකමැත්තට අපි ඒවා ගන්නේ නැහැ. ඈ ළමයි, ඔය "ගොඩයෝ" කියන ටැග් ලයින් එක දැම්මෙත් සුද්දම තමයි. ඔයාලා දන්නවද? ඉස්සර මිනිස්සු බිව්වේ කැඳ. පුදුම හයියක් තිබ්බා. පවුලේ 14, 15 දෙනා ළමයි. පිරිමින්ට පුරුෂ ශක්තිය තිබුණා. ඔය වැල් පෙනෙල, රෝම ඒවා දාලා හොඳ පුරුෂ ශක්තියක් තිබුණා. පෞරුෂවාදී පිරිමි හිටියා. මෙහෙම කිව්වේ නැහැ "අනේ සුදු නෝනා ඔයා හින්දා තමයි මම මගේ ජීවිතේ දිනන්නේ, ඔයා නැත්නම් මගේ ජීවිතේ අනේ මට වැඩක් නැහැ සුදු නෝනා, ඔයා තමයි මගේ හැමදේම, ඔයා තමයි මාව ඇදගෙන ඉන්නේ" කියලා.

ඉද්දකින්! මොක්කුද මේ? අපේ සිංහලයට තිබ්බ පෞරුෂයවත් නැහැ මෙවුන්ට. ඉතින් ඌට දැන් කවන්න ඕන, පොවන්න ඕන, උදේට කියන්න ඕන "ඔයා මේක කරන්න ඕන" කියලා. වැරදි කළොත් බනින්න ඕන. හොඳට බලන්න ගෘහ මූලිකයා වගේ ඉන්නේ කවුද ගේ ඇතුලේ කියලා. බයයි, ඒ තියෙන බය. අනිත් එක ලැජ්ජා නැතුව මෙහෙම කියනවනේ, දැන් පිරිමි පිරිමින්ට කියනවනේ "කසාද බඳින්න එපා" කියලා. හිරේට ගියා වගේ. යකෝ පිරිමියෙකුට ගැලපෙන කතාවක්ද? මම මේ කියන්නේ ගැහැණුවට අඬන්න දොඩන්න කියලද? නැහැනේ, පෞරුෂයක් හදාගන්න. මෙහෙම දුවන්න බෑ රටකට. පෞරුෂය තියෙන පිරිමි හදන්න. ඔන්න විදුහල්පතිතුමියනි, මේ පිරිමි දරුවන්ගේ හදන්න පිරිමිකම. ඔය මොනවා හැදුවත් වැඩක් නැහැ පිරිමි නැතුව. පිරිමිකම නම් පිරිමින්ට හිතෙන්න ඕන, තමන් කවදාහරි ගැහැණු කෙනෙක් කසාද බැඳලා ගැහැණියකව පෝෂණය කරනවා කියලා.



දැන් ඒ වුනාට දැන් සමාජයේ යන්න හදන්නේ කොයි පැත්තටද? එතකොට මේවත් අපි උගන්නන්න ඕනේ ළමයින්ට. එහෙමයි. ඒක කොහෙද පිරිමියෙක් හැදෙන්නේ? ඒ නිසා මේ විනාශ කාලයේ විපරීත වෙලා තියෙන බුද්ධි ටික, ඔබ වහන්සේලා ටිකක් නිවැරදි කරන්න පොඩි දතක් කන්න වෙනවා අපේ හාමුදුරුවනේ. ලේසි නැහැ. මොකද අපේ උන්ට නම් හොඳක් කරලා හොඳක් අහන්න ලේසි වෙන්නේ නැති නිසා ටිකක් මේක අමාරු කාර්යයක් වෙයි. හැබැයි එකක්, මේ රටේ සිංහල බෞද්ධ බලය එහෙම මැරිලා නැහැ. මේ රටේ මේ යහපත් කතා කරන මිනිස්සු වළකජ්ජ ගහලා නැහැ. ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් කතා කරන, ස්වාමීන් වහන්සේලාට තමන්ගේ ප්‍රාණ වායුව දෙන, ඒ මිනිස්සු තාම ජීවමානව ඉන්නවා. ඔය දරුවෝ ඒ ජීවමාන දාමයේ පුරුක් වෙන්න ඕනේ. ඔය වගේ පෙන්දෝ නොවී. හැදිලා නැහැ. ඉතින් ඒ නිසා මේ දරු පරම්පරාව ලෙඩ වෙනවා, මේ දරු පරම්පරාව මිටි වෙනවා, මේ ළමයි කුදු වෙනවා. මේක වහාම හදන්න මම කිව්වේ ප්‍රතිසංස්කරණයක් ඕන. ඒක නරක නැහැ, හරි විදිහට කරන්න. හරි විදිහට කරන්න.

දැන් මේ පොත් ගොඩාක් අරගෙන යනවා. යන්නේ නැද්ද? අර බෑග් එකේ මේ ළමයාගේ බරට වඩා පොත් තියෙනවා. මේ පොත් ටික ගන්න දැන් අර බෑග් එක පිටිපස්සට බලය යොදද්දී, ඊට සමාන ප්‍රතිවිරුද්ධ බලයක් ළමයා යොදන්න ඕනේ මෙහෙම. එතකොට ළමයාගේ පේෂි නිතර ඒ පැත්තට හැදෙනවා. ඒ නිසා හොඳට බලන්න ඔය බාල පන්ති වල ළමයින්ගේ කොඳු කුදුයි. මට මතකයි අපේ අප්පච්චි මගේ කොණ්ඩෙන් මෙහෙම අල්ලලා, මෙහෙම ඇද්දා පිටිපස්සට. "හිටපන් කෙලින්" කියලා. ඊට පස්සේ ආයෙත් මම ආයෙ ඉතින්, ඊට පස්සේ ආයේ මෙහෙම වෙනවානේ. වයස වගේ. ඊට පස්සේ බැරිම තැන මාව යැව්වා කැඩෙට් කරන්න. දැන් කැඩෙට් බෑන්ඩ් එක දැක්කමත් මට මතක් වුනා ඒක. ඊට පස්සේ අපිත් ඔය හර්මන් ලෝස් (Hermann Loos) ආ ඉන්නවනේ, අපි ගිහින් තියෙනවා. ඊට පස්සේ කැඩෙට් වලින් තමයි මගේ කොන්ද හැදුනේ. මනුස්සයෙක් වුනේ. ඊට පස්සේ ටික ටික දැන් මේ පපුවට කලින් බඩ එන බව ඇත්ත. ඒ ඉතින් අර කන බොන ඒවා තමයි. ඒ ඉතින් ඒවා තමයි. දැන් අපිටත් මේ උගුලෙන් ගැලවෙන්න නැහැ. මේ පෝෂ්‍ය පදාර්ථ තියෙන පෝෂදායි සිංහල ආහාර වට්ටෝරුව නේ.

රට ගැතියි. දෙවියන් වහන්සේට යදිනවා. මුළු බටහිරම දෙවියන් වහන්සේට ආදරෙයි. පොඩ්ඩ බැරි වෙච්ච ගමන් ඒ මිනිස්සුන්ගේ කටේ තියෙන්නේ "ඕ මයි ගෝඩ්" (Oh My God). එංගලන්ත ජාතික ගීය තියෙන්නෙත් "ගෝඩ් සේව් ද කිං" (God Save the King). දෙවියනි රජුව රකින්න. කොහොමද අපි ඕක දම්මා නම් එහෙම ලංකාවේ එකට? "අනේ දෙවියනි රජු රකීවා" කියලා කිව්වා නම්? "ගෝත්‍රිකයි" කියලා අර මෙහෙ ඉන්නවනේ අර ඇච්චෝ බැච්චෝ ටිකක් කෑ ගහයි. ආ ගෝත්‍රිකයෝ, ගොඩයෝ. මේ දැන් මේවට නම් අපේ හාමුදුරුවනේ බය වෙලා හරියන්නේ නැහැ මේ විදිහට. දැන් අර කතෝලික, ක්‍රිස්තියානි අය ගිහිල්ලා අර පාස්ටර්ලා හම්බවෙලා ලෙඩ හොඳ කරගන්නවා. ඒවට වැරැද්ද කියන්න බෑ අපේ හාමුදුරුවනේ අපිට. ඒ මිනිස්සුන්ගේ අයිතිය. අපේ උන් නොගියා කියලා ඒ මිනිස්සු මොනවද කරන්නේ? අපේ අය දෙවියෝ අවිශ්වාස කළා කියලා ඒ මිනිස්සු මොනවද කරන්නේ? ඩුබායි ගිහින් තියෙනවද? කවුරුහරි අම්මෙක් තාත්තෙක් හරි. ඩුබායි ගිහින් දෙවියන් වහන්සේට එක පාරක් බනින්න. මොකද වෙන්නේ බලන්න.

ආ මේ තව කලබ ගෑනියක් වෙලා නේද මේ අද ඊයේ මොකක්ද ඉස්කෝලෙක? මම ඒ ගැන කියන්න යන්නේ නැහැ, එතන ජීවිත ගොඩක් තියෙනවා. හැබැයි ඒකෙන් අපි ඉගෙන ගන්න ඕන දෙයක් තියෙනවා ඈ. ඉගෙන ගන්න ඕන දෙයක් තියෙනවා. දැන් ඔයාලගේ ගෙවල් වල ටීවී එක දාපුවාම යන්නේ ටීචර්ට හොරෙන් ආදරය කරන උසස් පෙළ කොල්ලෙක්ගේ නාට්‍යයක් නම්, ඈ, ඒ නාට්‍යය බැලීමෙන් ඔයාලා ලබන මොකක් හරි සතුටක් තියෙනවා නම් මොකක්ද ඒ? ඈ?

දවසක් රූපවාහිනී සංවාදයකදී, රූපවාහිනී සංවාදක නෙමෙයි යූටියුබ් සංවාදයකදී, මේ ප්‍රසිද්ධ නිවේදිකාවක් මගෙන් ඇහුවා "මුතුගල සර්ට ආදර යෝජනා ඇවිල්ලා නැද්ද පන්ති වල ගෑනු ළමයින්ගෙන්?" කියලා. හ්ම්. ඊට පස්සේ දැන් ඒක පුන පුනා අහනවා. අර කුණු රහටනේ කැමති. එක්කෝ මෙහෙම ප්ලෑන් එකක් තිබ්බත් දන්නේ නැහැ, මම අපේ නෝනාගෙන් මට බැනුම් අහන්න වගේ එකක්. ඊට පස්සේ මම කිව්වා ඉතින් එහෙම අවස්ථා තිබිලා තියෙනවා. එතකොට ඒ ආදර යෝජනා ගේන්නේ කවුද? ළමයි නේ, නේද? ළමයි කියන්නේ කවුද? ළමයි කියන්නේ නොතේරුම්කම තියෙන අය. එතකොට ගුරුවරයා ළමයෙක් වෙලා හරියනවද?



එතකොට ළමයි ඒ දේ කරද්දී අපි හිතන්න ඕනේ ළමයි වගේ නෙමෙයි. අපිට ඉන්න ඕනේ හැඟීමක්, "ආ මම ගුරුවරයෙක්" කියලා. අනේ මේ ළමයාට ඉතින් මේක මෙහෙම හිතලා ඉතින් මම කවදාවත් බනින්නෙත් නැහැ ඒවට. බනින්නේ නැහැ. මොකද ඒ ළමයා ලොකු එම්බරස් (embarrass) වෙනවානේ. අපි බැන්නහම ඒ ළමයා සමහරවිට මානසිකව කඩා වැටිලා සියදිවි හානි කරගන්න පවා පුළුවන්. ඒ ලැජ්ජා වෙනවානේ. එතකොට කියන්න තියෙන්නේ මේ, "ආ මෙහෙමයි. චූටි මැණික, (මම පන්ති වල චූටි මැණික් කියලා තමයි කියන්නේ), චූටි මැණික ඔයා මේක හිතන්න නැතුව ඔයා හොඳට ඉගෙනගන්නකෝ. ඔයා වැඩේ කරගන්නකෝ ඉස්සෙල්ලා." ළමයට බලාපොරොත්තුවක් දෙන්න ඕනේ.

"සර් මට හරි දුකයි." මම ඒ දැරිවීට දුන්න අවවාදය, මේ දූවරුන්ටත් මේ පුතුනුවන්ටත් කියලා මෙතනින් බැහැලා යනවා. වටිනාකම් දෙන මිනිස්සු ඇසුරු කරන්න හුරු වෙන්න. ඒක එක. දෙවෙනි එක තමයි, නුසුදුසු දේවල් කරන්න එපා. මෙහෙමනේ, දැන් මුවාත් පැන පැන පඳුර ළඟට යනකොට ඒක ඇත්ත ස්වභාවය. මුවෙක් පැන පැන පඳුර ළඟට යන එක ස්වභාවය. පඳුර පැන පැන මුවා ළඟට යනවා කියලා අහලා තියෙනවද කවදාවත්? මේ වගේ අනිත් පැත්ත වෙන්න ගියාම ඔන්න ඔය වගේ ප්‍රශ්න එන්න පුළුවන්. තුන්වෙනි දේ තමයි, කැතයි කිව්වොත් ලස්සන වෙලා පෙන්නන්න. අදක්ෂයි කිව්වොත් දක්ෂ වෙලා පෙන්නන්න ඕනේ. දුප්පත් කිව්වොත් පෝසත් වෙලා පෙන්නන්න ඕනේ. අභියෝග අභියෝගයක් විදිහට බාරගන්න ඕනේ මගේ පුතාලා. මේවට නම් පස්ස ගහන්න එපා. මෝඩයි කිව්වොත් බුද්ධිමත් වෙලා පෙන්නන්න. "නෑ" කිව්වොත් "තියෙනවා" කියලා තමන්ට තියෙන කාලයක් හදාගෙන ඒක පෙන්නන්න. අපේ රටට දුප්පත්කම ඇති දැන්. මහන්සි වෙන්න. මේක ඔයාලගේ රට. මේක ඔයාලගේ අනාගතය.

දැන්වත් පින් සිද්ධ වෙයි බෙදෙන්න එපා. දැන්වත් බෙදෙන්න එපා. අනාගතයේ එන්නේ නැහැ. ඒ නිසා වැඩිහිටි පරම්පරාවට මම ආදරයෙන් කියනවා, ඔබ නොදන්නවා වුනාට, ඔබ අප්ඩේට් (Update) නැති වුනාට විශාල කෝලන් ගොඩක් මේ කාලයේ යමින් තියෙනවා. ඔබට මේ වගේ අනිසි විපාක තව අවුරුදු 10 යන්න මත්තෙන් දැනගන්න පුළුවන්. ඒ නිසා නිකම්ම නිකම් හිස් කන්නාඩි දාගෙන දේශපාලනය විතරක් ඔලුවේ තියාගෙන මෝඩයෝ වගේ නම් ඉන්න එපා. ඔබට දරුවෝ අහිමි වෙනවා. දරුවා ඔබට අහිමි වුනා කියන්නේ දරුවට මේ රට අහිමි වෙනවා. මේ රට වැටෙනවා.

ඉතින් මම මේ කල්පනා කළා ඉතින්, අනේ මේ ස්වාමීන් වහන්සේලා මෙහෙම කරන නිහඬ සේවය ඇයි මෙච්චර නිහඬ? ළමයින්නේ, මේවා හඬ නගලා කියන්න. "අපිට මේ හාමුදුරුවරු මෙහෙම උදව් කරනවා, අපිට මේ හාමුදුරුවරු මෙහෙම උදව් කරනවා" කියලා. දැන් මේ ලැජ්ජා නැතුව කියනවනේ පන්සල් වල තියෙන එළියට බෙදන්න කියලා. මේ බෙදන්නේ. තව මොකද? පින් කැටේත් කඩලා දෙන්නද? එතකොට හිඟන්නෝද මේ දායකයෝ කියන්නේ? පන්සලෙන් කන්න බලාගෙන ඉන්නේ? පන්සල් පෝෂණය කරලා, සුරක්ෂිත කරලා, විහාරාරාම ගොඩනගලා, ඒ කාලේ මොනවද "අගත අනගත... මේ චාතුද්දිස සංඝස්ස දිනේ" (අතීත අනාගත සිව් දෙසින් වඩන මහා සංඝරත්නය උදෙසා වෙන්කොට තබමි, පූජා කරමි) කියලා ඉස්සර ගිහියෝ දුන්නේ. දැන් පන්සලෙන් බැයිද දෙන්න? මේ හිඟන්නෝ කියන කතා අහන්නත් එපා ඔයගොල්ලෝ.

සංඝයා වහන්සේලා පෝෂණය කරන්න. ජීවිත වර්ණවත් කරගන්න. ඉංග්‍රීසි ටික හදාගන්න. අයිටී (IT) පැත්ත දැනගන්න. මට සතුටු හිතුනා අර කම්පියුටර් ලැබ් එක දැක්කම. අනාගතය උදෙසා සැලැස්මක් ඇතුව වැඩ කරන්න. මෙවුන් මොරන්න කලින්, මොරන්න කලින් මේරූ වැඩ කරන්න, නැතුව ඉන්න. ඊරිසියාව අඩු කරන්න. පැත්තකින් තියන්න. තියෙන මිනිහට හූල්ලන්නේ නැතුව ඉන්න. තියෙන මිනිහට උදව් කරන්න. ඒ මනුස්සයාට දිරි දෙන්න.

හොදරුන්ගේ ජීවිත වාසනාවන්ත වේවා. හැදූ වැඩු දෙමව්පියන්ට පින් සිදුවේවා. මෙතන ඉන්න දෙමව්පියන් දීර්ඝායුෂ ලබත්වා. මහා සංඝරත්නය නිදුක් නිරෝගීව බොහෝ කල් චිර ජීවනය ලබත්වා, මේ ශාසනය ශෝභමාන කරන්න ඔබ වහන්සේලාට සියලු වෙර වීර්යය ලැබේවා. පින්වත් මෑණියන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. සියලු දෙනාට ජය පතනවා. නැවත මුණ ගැහෙමු දවසක. තෙරුවන් සරණයි, ජය වේවා!"

Post a Comment

Previous Post Next Post