
රුපියල් බිලියනයකට ආසන්න හිඟ මුදලක් ගෙවීම පැහැර හැරීම හේතුවෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට (ලංගම) ටයර් සැපයීම මේ මස 10 වැනිදා සිට සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට අදාළ සැපයුම්කරුවන් පියවර ගෙන තිබේ. වසරකට වැඩි කාලයක් පුරා ලංගම බස් රථ සඳහා පෙර සවි කළ සහ නැවත පිරවූ ටයර් ලබා දීම වෙනුවෙන් මෙම දැවැන්ත මුදල ඔවුන්ට ගෙවීමට නියමිතව පැවති බව පැවසේ.
මෙම තීරණයත් සමඟ දිවයින පුරා පිහිටි ලංගම ඩිපෝ රැසක බස් රථ ධාවන කටයුතු මේ වන විටත් දැඩි ලෙස අඩාළ වී ඇත. මේ තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රාදේශීය කළමනාකරුවන් මෙන්ම සහකාර ඉංජිනේරු කළමනාකරුවන් විසින් ලංගම සභාපතිවරයාට සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයාට ලිඛිතව දැනුම් දී තිබේ. මණ්ඩලයට අයත් බස් රථ වලින් සියයට 75කට වැඩි ප්‍රමාණයක් ධාවනය වන්නේ මෙලෙස සපයනු ලබන පෙර සවි ටයර් භාවිතා කරමින් වීම මෙහි ඇති බරපතලකම තවත් වැඩි කරයි.
කුරුණෑගල, අනුරාධපුර, හෝමාගම, පාදුක්ක, හොරණ, කොටගල, රත්මලාන, පොළොන්නරුව සහ දිවුලපිටිය ආදී ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් ලියාපදිංචි ටයර් සැපයුම් ආයතන දහයක් පමණ දිවයින පුරා ක්‍රියාත්මක වේ. සපයන ලද සේවා සඳහා නිසි කලට මුදල් නොලැබීම හේතුවෙන් එම ආයතන මේ වන විට දැඩි මූල්‍ය අර්බුදයකට ලක්ව ඇති අතර, සේවක වැටුප් ගෙවීමට හෝ ආයතනික නඩත්තු කටයුතු සිදු කිරීමට නොහැකි තත්ත්වයකට පත්ව සිටින බව ඔවුහු පෙන්වා දෙති. වර්තමානයේ පවතින මිල ගණන් යටතේ තවදුරටත් ටයර් සැපයීම ප්‍රායෝගික නොවන බව ද බලධාරීන් වෙත යැවූ ලිපියේ සඳහන් කර ඇත.
පැන නැගී ඇති මෙම ගැටලුව සම්බන්ධයෙන් කඩිනම් සහ ප්‍රායෝගික විසඳුමකට එළඹීම සඳහා ලංගම සභාපතිවරයා, ප්‍රධාන විධායක නිලධාරීවරයා මෙන්ම ප්‍රධාන මූල්‍ය කළමනාකරු සමඟ වහාම සාකච්ඡාවක් ලබා දෙන ලෙස ටයර් සැපයුම්කරුවන් වැඩිදුරටත් ඉල්ලා තිබේ. මේ පිළිබඳව කරුණු විමසීම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති සජීව නන්දන කණකරත්න මහතා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද, පළමු අවස්ථාවේදී තමා රැස්වීමක සිටින බවත්, දෙවන අවස්ථාවේදී තමා ආහාර ගනිමින් සිටින බවත් පවසමින් ඔහු ඊට ප්‍රතිචාර දැක්වීමෙන් වැළකී සිටියේය.