කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි හැට හතර හැවිරිදි දකුණු කොරියානු ජාතිකයෙකු අපේක්ෂාවෙන් සිටියේ තම ප්‍රමාද වූ ගමන් මල්ල යළි ලබා ගැනීමටයි. වෘත්තියෙන් වඩු කාර්මිකයෙකු වූ ඔහු සතුව තිබූ එම ගමන් මල්ල සාමාන්‍ය එකක් නොවීය.
එය තුළ රුපියල් හාර කෝටි අනූහතර ලක්ෂ හතළිස් දහසක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සඟවා තිබිණි. ගමන් මල්ල භාරගැනීමට පැමිණි එම සැකකරු ඊයේ (01) පස්වරුවේ ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ නිලධාරීන්ගේ සූක්ෂම වැටලීමකට හසුවිය.මෙම සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරමේ සුලමුල හෙළිවන්නේ සැකකරුගේ ගමන් මාර්ගය ඔස්සේය. ඉකුත් 26 වැනිදා සෞදි අරාබියේ ටබුක් ගුවන් තොටුපොළෙන් සිය ගමන ආරම්භ කළ මෙම පුද්ගලයා, ඩුබායි හරහා ශ්‍රී ලංකාවට පැමිණියේ ෆ්ලයි ඩුබායි ගුවන් සේවයට අයත් එෆ්. ඉසෙඩ්. 579 දරන ගුවන් යානයෙනි. එහෙත් අදාළ කොකේන් තොගය සහිත ගමන් මල්ල ඔහු පැමිණි යානයෙන් කටුනායකට රැගෙනවිත් තිබුණේ නැත. එය වෙනත් ගුවන් යානයක් මගින් පසුව කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබිණි.
සැකකරුගේ මල්ල ප්‍රමාද වී වෙනත් යානයකින් ගෙන්වා ගන්නා අතරතුර, මෙම මත්ද්‍රව්‍ය ප්‍රවාහනය පිළිබඳ තීරණාත්මක බුද්ධි තොරතුරක් පොලිස්පතිවරයා වෙත ලැබී තිබිණි. එම තොරතුර මත ක්‍රියාත්මක වූ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය, කොරියානු ජාතිකයා තම ගමන් මල්ල රැගෙන යාමට එනතුරු කටුනායක ගුවන් තොටුපොළේ රැකවල් ලා සිටියේය. අවසානයේදී මත්ද්‍රව්‍ය තොගයත් සමග නීතියේ රැහැනට කොටුවූ මෙම සැකකාර වඩු කාර්මිකයා, ඉදිරි විමර්ශන කටයුතු සඳහා අද (02) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.