මාතර, අකුරුගොඩ සේනානි කනිෂ්ඨ විද්‍යාලයේ 08 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි 12 හැවිරිදි සිසුවියක පාසල් මිදුලේදී හදිසියේ බිම ඇදවැටී රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇති බව මාලිම්බඩ මූලස්ථාන පොලිසිය පවසයි. මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තෙලිජ්ජවිල, ගල්ඇන්දකුට්ටිය ප්‍රදේශයේ පදිංචිව සිටි පහන්තුගේ සිහන්යා මිපුනි නමැති දැරියයි.
ඉකුත් 17 වැනිදා උදෑසන පාසලට පැමිණි අදාළ සිසුවිය, ගුරුවරයෙකු නොමැති කාලච්ඡේදයකදී පන්ති කාමරයෙන් පිටතට ගොස් මිතුරියකගේ අත අල්ලාගෙන ගීතයක් ගයමින් සිට ඇත. එහිදී එක්වරම මිතුරියගේ අතින් ගිලිහී ඇය උඩුබැලි අතට බිම ඇදවැටී තිබේ.
සිද්ධියත් සමඟ අනෙකුත් ළමුන් කෑගසා ඇති අතර, වහා ක්‍රියාත්මක වූ ගුරුවරුන් ඒ පිළිබඳ සොයා බලා 1990 ගිලන් රථය මාර්ගයෙන් දැරිය මාතර මහ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත. එහි හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඇය මියගොස් තිබේ. මියගිය දැරිය කුඩා කාලයේදී හෘද රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබා තිබූ බවටද තොරතුරු අනාවරණය වී ඇත.
මෙම මරණය පිළිබඳ හදිසි මරණ පරීක්ෂණය මාතර නාගරික හදිසි මරණ පරීක්ෂක ටී.එම්. ලලිත් ද සිල්වා මහතා ඉදිරියේ පැවැත්වීමට නියමිත අතර, පශ්චාත් මරණ පරීක්ෂණය අධිකරණ වෛද්‍ය නිලධාරිනී හංසිකා නිලක්ෂී මහත්මිය විසින් සිදුකිරීමට නියමිතය. මාලිම්බඩ පොලිස් ස්ථානාධිපති උදිත කුමාර මහතාගේ උපදෙස් මත සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පැවැත්වේ.