මුම්බායි හි පිහිටි තට්ටු නිවාස සංකීර්ණයකදී 25 හැවිරිදි ගුවන් සේවිකාවක අපයෝජනයට ලක් කිරීමේ පුවතක් වාර්තා වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් 28 හැවිරිදි අනිල් ෂින්ඩේ නැමැති පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. අදාල පුද්ගලයා සංක්‍රාන්ති ලිංගිකයෙකු ලෙස වෙස්වලාගෙන මෙම අපරාධය සිදුකර ඇති බව අනාවරණය වේ.
රෝහල්ගත කර සිටින ඇගේ ස්වාමිපුරුෂයාට වැළඳී ඇති අසනීප තත්ත්වය සහ පවතින ඇස්වහ දෝෂයන් පහකිරීමේ මුවාවෙන් සැකකරු ඇගේ මහල් නිවාසයට ඇතුළු වී තිබේ.අඟහරුවාදා දහවල් 12:20 ත් 12:50 ත් අතර කාලය තුළ සිදුවූ මෙම සිදුවීමේදී, සැකකරු ගොඩනැගිල්ලේ ආරක්ෂක නිලධාරියාව රවටා ඇතුළු වී නිවාස කිහිපයක දොරවල්වලට තට්ටු කර ඇත. ගොඩනැගිල්ලේ තෙවැනි මහලේ පිහිටි ගුවන් සේවිකාවගේ නිවසේ දොර අසලදී ඇයට හමුවූ සැකකරු, ඇගේ සැමියාගේ දෝෂ දුරුකිරීමට හැකි බව පවසා ඇත. පසුව ඇය වෙත වතුර ඉස හිස මත අත තබමින් මෝහන තත්ත්වයකට පත්කර ඇයව ලිංගික අපයෝජනයට ලක්කර ඇත.
තමා මෝහන තත්ත්වයකට පත්ව සිටි බවත්, කෑගැසීමට උත්සාහ කිරීමේදී සැකකරු ඇගෙන් ලබාගත් රුපියල් 200 ක මුදලක්ද රැගෙන පලාගිය බවත් වින්දිත කාන්තාව පොලිසියට ප්‍රකාශ කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ල ලැබීමෙන් පැය හතරක් වැනි කෙටි කාලයක් ඇතුළත ක්‍රියාත්මක වූ මුම්බායි පොලිසිය, කල්වා ප්‍රදේශයේ පැල්පත් නිවසක සිටි සැකකාර අනිල් ෂින්ඩේ අත්අඩංගුවට ගෙන ඇත.