ශෂීන්ද්‍ර රාජපක්ෂට අධිචෝදනා

shashindra-rajapaksa-indicted

හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනු කර තිබූ නඩුවකට අදාළ අධිචෝදනා පත්‍ර අද (07) කොළඹ මහාධිකරණයේදී එම විත්තිකරුවන් වෙත භාර දෙනු ලැබීය. මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා ඉදිරියේ මෙම අධිචෝදනා භාරදීම සිදු කෙරුණු අතර, ඉන් අනතුරුව විත්තිකරුවන් ඇප මත මුදා හැරීමට විනිසුරුවරයා නියෝග කළේය.

ඒ අනුව එක් විත්තිකරුවෙකු සඳහා රුපියල් ලක්ෂ දහයක වටිනාකමකින් යුත් ශරීර ඇප දෙකක් බැගින් නියම වූ අතර, නඩු විභාගය අවසන් වන තෙක් ඔවුන් සියලු දෙනාගේම විදේශ ගමන් තහනම් කිරීමට ද අධිකරණය පියවර ගත්තේය.




මෙම දූෂණ නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස නම් කර ඇත්තේ සේපාලිකා සමන් කුමාරි සහ කීර්ති බණ්ඩාර කොටගම යන අයයි. පසුගිය ජූනි මස 19 වනදා අල්ලස් කොමිසම විසින් මෙම පිරිසට එරෙහිව අධිචෝදනා දහයක් යටතේ නඩු පවරා තිබූ අතර, ඊට අදාළව සාක්ෂිකරුවන් තිස් දෙනෙකු ද නම් කර තිබුණි. මේ අතර නඩුවට අදාළ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ලබන අගෝස්තු මස 05 වනදා පැවැත්වීමට තීරණය කළ මහාධිකරණ විනිසුරුවරයා, එදිනට මෙම නඩුව නැවත කැඳවන ලෙස ද නියෝග කළේය.

මෙම නඩුකරයට පාදක වී ඇත්තේ 2022 වසරේ මැයි මස 09 වනදා රට තුළ ඇති වූ අරගලකාරී වාතාවරණය මධ්‍යයේ සිදු වූවක් යැයි කියන සිදුවීමකි. එහිදී ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් සෙවණගල, කිරිඉබ්බන්වැව ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවසරයෙන් ඉදිකර තිබූ ගොඩනැගිල්ලක් ඇතුළු දේපළ කිහිපයකට හානි සිදු වී තිබුණි. එම අනවසර ඉදිකිරීම් වෙනුවෙන් වන්දි මුදල් ගෙවීම රජය විසින් ප්‍රතික්ෂේප කර තිබියදී, ඊට පටහැනි ආකාරයෙන් කටයුතු කරමින් හානිපූර්ණය සඳහා වන කාර්යාලයේ රජයේ නිලධාරීන්ට තම නිල බලය භාවිත කර බලපෑම් කර ඇති බවට විත්තිකරුවන්ට චෝදනා එල්ල වී ඇත.




එලෙස බලපෑම් සහගතව කටයුතු කරමින් රුපියල් අසූ අට ලක්ෂ පනස් දහසක (රු. 8,850,000/-) වන්දි මුදලක් ලබාගැනීම සම්බන්ධයෙන් මෙම නඩුව පවරා තිබේ. තමන් සතු නිල බලය අවභාවිත කරමින් රජයේ මුදල් මෙලෙස ලබාගැනීම තුළින් දූෂණය නමැති වරද සිදුකිරීම සහ ඒ සඳහා ආධාර අනුබලදීම යන වරදවල් යටතේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් විත්තිකරුවන්ට එරෙහිව මෙම අධිකරණ ක්‍රියාමාර්ගය ගෙන ඇත.

Post a Comment

Previous Post Next Post