රාජ්‍ය සේවා ස්ථාන මාරු හා කාර්ය­ක්ෂ­මතා නීති රීති දැඩි කර චක්‍ර­ලේ­ඛ­යක්

a-circular-tightening-the-rules-of-transfer-and-efficiency-of-government-services

රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් සහ ස්ථාන මාරු ක්‍රියාවලිය වඩාත් විධිමත් කිරීම සඳහා රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නව ඒකාබද්ධ සේවා චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් එන්.යූ.

නිෂාන් මෙන්ඩිස් මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති අංක 03/2026 දරන මෙම විශේෂ චක්‍රලේඛය හරහා, ස්ථාන මාරු නියෝග ක්‍රියාත්මක කිරීමේදී ආයතන ප්‍රධානීන් මෙන්ම රාජ්‍ය නිලධාරීන් විසින් අනුගමනය කළ යුතු නීතිරීති වඩාත් දැඩි කර ඇත.




මෙම නව ක්‍රමවේදයට අනුව වාර්ෂික ස්ථාන මාරු ක්‍රියාවලියේ පළමු පියවර වශයෙන් මාර්ගගතව අයදුම්පත් කැඳවීම සිදු කිරීමට නියමිතය. එහිදී වසර පහක සේවා කාලයක් සම්පූර්ණ කරන ලද නිලධාරීන්ගේ තොරතුරු, අත්‍යවශ්‍ය සේවා අවශ්‍යතා මත රඳවා ගැනීමට යෝජිත නිලධාරීන්ගේ විස්තර මෙන්ම ප්‍රසූති හෝ වැටුප් රහිත නිවාඩු ලබා සිටින නිලධාරීන්ගේ තොරතුරු ද අතිශය නිවැරදිව ඉදිරිපත් කිරීම අනිවාර්ය කර තිබේ. යම් හෙයකින් එම තොරතුරු නිසි පරිදි ඉදිරිපත් නොකළහොත් පසුව ස්ථාන මාරු තීරණ වෙනස් කිරීමට සිදුවන බැවින්, එයින් අනෙකුත් නිලධාරීන්ට මෙන්ම සේවා ස්ථානවලට ද දැඩි අගතියක් සිදුවන බව අදාළ චක්‍රලේඛය මඟින් පෙන්වා දී ඇත.

වාර්ෂික ස්ථාන මාරු තීරණ ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් යම් නිලධාරියෙකු සෑහීමකට පත් නොවන්නේ නම්, ඔවුන් පළමුව මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සමාලෝචන කමිටු වෙත තම අභියාචනා ඉදිරිපත් කළ යුතුය. සමාලෝචන කමිටුවේ තීරණය පිළිබඳව ද අතෘප්තිමත් වන නිලධාරීන් ඉන්පසුව රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත අභියාචනා කළ යුතු අතර, එසේ නොකරන නිලධාරීන් සමාලෝචන කමිටුවේ තීරණය පිළිගත් බවට නිගමනය කරනු ලබයි. එවැනි තත්ත්වයක් තුළ නැවත වරක් ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත අභියාචනා ඉදිරිපත් කිරීමේ කිසිදු හැකියාවක් නොමැති බව ද බලධාරීන් අවධාරණය කර සිටී.




රාජ්‍ය සේවා කොමිෂන් සභාව හෝ ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ලබාදෙන ස්ථාන මාරු නියෝග වෙනස් කිරීමට, කල් දැමීමට හෝ ක්‍රියාත්මක නොකර සිටීමට කිසිදු ආයතන ප්‍රධානියෙකුට බලයක් හිමි නොවේ. රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ තීරණයකින් පසුව ද යම් නිලධාරියෙකුට ගැටලුවක් පවතී නම්, 2002 අංක 04 දරන පරිපාලන අභියාචනා විනිශ්චය අධිකාරී පනත ප්‍රකාරව එම අධිකාරියට අභියාචනයක් ඉදිරිපත් කළ හැකි වුවත්, එහි අවසන් තීරණය ලැබෙන තුරු අදාළ ස්ථාන මාරුව අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළ යුතුමය. තවද, ස්ථාන මාරු නියමිත දිනයේම ක්‍රියාත්මක කිරීම අනිවාර්ය වන අතර අනුප්‍රාප්තිකයෙකු නොපැමිණීම වැනි හේතු මත එය කිසිසේත්ම කල් දැමිය නොහැක. ආයතන ප්‍රධානියාගේ අනුදැනුමකින් තොරව ආයතන සංග්‍රහයේ විධිවිධානවලට පටහැනිව සෘජුවම අභියාචනා ඉදිරිපත් කරන නිලධාරීන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව පවතින බව ද මෙම චක්‍රලේඛය මඟින් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

Post a Comment

Previous Post Next Post