සිසුන් මුදලට සමත් කිරීමක් ගැන කොළඹ විශ්වවිද්‍යාලයට එරෙහි අල්ලස් විමර්ශන

bribery-investigations-against-the-university-of-colombo-for-passing-off-students-for-money

කොළඹ විශ්වවිද්‍යාලයේ විභාග කටයුතු සහ ඩිප්ලෝමා පාඨමාලාවල සිදු වූයේ යැයි පැවසෙන විවිධ දූෂණ හා අක්‍රමිකතා රැසක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. ඇතැම් විභාගවලට පෙනී සිටින සිසුන් මුදලට සමත් කිරීම සහ විශ්වවිද්‍යාල බලධාරීන් විසින් විවිධ අක්‍රමිකතා සිදුකරන ලදැයි කියන සිද්ධීන් මෙලෙස විමර්ශනයට ලක්වන බව වාර්තා වේ.




මෙම විමර්ශන කටයුතු ආරම්භ වී ඇත්තේ කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ උසස් ඩිප්ලෝමා පාඨමාලාව හදාරන සිසුන් පිරිසක් විසින් කරන ලද නිල පැමිණිල්ලකට අනුවය. එම පැමිණිල්ල මඟින් සිසුන් පෙන්වා දී ඇත්තේ විශ්වවිද්‍යාලයේ ඇතැම් ආචාර්යවරුන් විසින් විභාගවලට පෙර තමන්ට හිතවත් සිසුන්ට ප්‍රශ්න පත්‍ර මුදාහරින බවයි. එමෙන්ම, මුදල් ලබාගනිමින් ලකුණු ලබාදීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බවටත්, ආචාර්යවරුන්ගේ විවිධ අනිසි වුවමනාවන්වලට අනුගත නොවන සිසුන් විභාගවලින් අසමත් කර පළිගැනීමට ඔවුන් කටයුතු කරන බවටත් සිසුන් බරපතළ චෝදනා එල්ල කර ඇත.

විශ්වවිද්‍යාල පාඨමාලා සඳහා පවතින සම්මත ක්‍රමවේද, කණ්ඩායම් ව්‍යාපෘති සහ ලකුණු ලබාදීමේ පිළිගත් රීති පද්ධතීන් ඇතැම් ආචාර්යවරුන්ගේ හිතුමතය පරිදි උල්ලංඝනය කර ඇති බව ද පැමිණිල්ලේ සඳහන් වේ. තවද, විභාගවලින් අසමත් කරන ලද ඇතැම් සිසුන් ඒ පිළිබඳව ප්‍රශ්න කිරීමෙන් අනතුරුව, ඔවුන් නැවත සමත් කරමින් අලුතින් ප්‍රතිඵල ලේඛන නිකුත් කිරීමට පියවර ගෙන තිබේ. මෙම ගැටලු සම්බන්ධයෙන් සිසුන් ඉදිරිපත් කළ පැමිණිලි පිළිබඳව කිසිදු නිසි විභාගයක් පැවැත්වීමකින් තොරව විශ්වවිද්‍යාල බලධාරීන් විසින් උපාධි ප්‍රදානය කිරීමට කටයුතු කර ඇති බව ද ඔවුහු පවසති.




විශ්වවිද්‍යාල බලධාරීන්ගේ මෙම ක්‍රියාකලාපය අල්ලස් පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බව පෙන්වා දෙන සිසුන්, කොළඹ විශ්වවිද්‍යාලයේ ඩිප්ලෝමා පාඨමාලාවල ගුණාත්මකභාවය සුරැකීමට මැදිහත් වන ලෙසත් මෙම සිදුවීම සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් පවත්වන ලෙසත් අල්ලස් කොමිසමෙන් ඉල්ලා ඇත.

මේ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලයේ පාර්ශ්වයෙන් කරුණු විමසීම සඳහා උප කුලපති ඉන්දික මහේෂ් කරුණාතිලක මහතාගේ කාර්යාලය ඇමතූ විට, ඒ පිළිබඳව ලේඛකාධිකාරී සංජීවනී පෙරේරා මහත්මියගෙන් විමසන ලෙස දැනුම් දෙන ලදී. ඒ අනුව ලේඛකාධිකාරීවරියගේ කාර්යාලය සම්බන්ධ කරගත්ත ද, එහි සිටි නිලධාරිනියක ප්‍රකාශ කළේ ලේඛකාධිකාරීවරිය එම අවස්ථාවේදී විශේෂ සාකච්ඡාවකට සහභාගි වී සිටින බවයි.

Post a Comment

Previous Post Next Post