“එම කාමරයේ ඇඳ හිස්ව තිබුණා. මම වම් පැත්තට හැරී බැලූ විට එහි කොනේ දොරක් තිබුණා.
පුටුවක් හරවා තිබුණා. දොර පැත්තේ තිබූ පුටුව යට පුද්ගලයෙකු වැටී සිටියා. මම ඔහුව පරීක්ෂා කළා. ඒ වන විටත් ඔහු මරණයට පත්වී සිටියේ,” යැයි මියගොස් සිටි ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේන මහතාගේ මරණ පරීක්ෂණයේ සාක්ෂි ලබා දෙමින්, කොළඹ පෞද්ගලික රෝහලක වෛද්‍ය ආර්. පී. ලක්ෂානි යසෝදා ලියනගේ මෙනවිය කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ අද (14) ප්‍රකාශ කළාය.මරණකරුගේ මරණය පරීක්ෂණ හතරකින් පසුව තහවුරු කරගත් බව ද සාක්ෂිකාර වෛද්‍යවරිය අධිකරණය හමුවේ සඳහන් කළාය. මෙම මරණ පරීක්ෂණයේ සාක්ෂි විභාගය අද (14) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු හෙළි වුණා. එහිදී සාක්ෂි අංක දෙක, හතර, පහ සහ හය යටතේ සාක්ෂි ලබාදෙනු ලැබුවා. කොළඹ අපරාධ කොට්ඨාසය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි පොලිස් කොස්තාපල් (83080) ඒ. ඩී. එස්. සම්පත් නිලධාරියා විසින් සාක්ෂි මෙහෙයවනු ලැබුවා.
ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේන මහතා මියගොස් සිටි, ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතාගේ නිවසේ CCTV දත්ත පද්ධතියක් ක්‍රියාත්මක වන නමුත්, එහි දර්ශන ගබඩා වීමක් සිදු නොවන බව කොළඹ අපරාධ කොට්ඨාසය අද (14) අධිකරණයට දැනුම් දුන්නා. ඒ, මෙම සිද්ධියට අදාළව සිදුකරන ලද විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි. ඒ අනුව, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කර සිටියේ අදාළ නිවස ඉදිරිපස ඇති නිවාස දෙකක CCTV දර්ශන ලබාගත් බවයි. වෛද්‍ය ආර්. පී. ලක්ෂානි යසෝදා ලියනගේ මෙනවියගේ සාක්ෂිය (පස්වන සාක්ෂිකාරිය)
මෙම මරණ පරීක්ෂණයේ පස්වන සාක්ෂිකාරිය වන වෛද්‍ය රණැස පතිරණ ලක්ෂානි යසෝදා ලියනගේ වැඩිදුරටත් සිය සාක්ෂිය ලබා දෙමින් මෙසේ ද ප්‍රකාශ කළාය:
සාක්ෂිකාරිය: "ස්වාමිනී, මම සාක්ෂි ලබා දෙන්නේ කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය සම්බන්ධවයි. සිද්ධිය වූ දින උදේ 7.45 ට පමණ අපේ ගිලන් රථ සේවාවට ඇමතුමක් ආවා. මම සේවය කරන්නේ පෞද්ගලික රෝහලක හදිසි ප්‍රතිකාර ඒකකයේයි. මම එහි ගියේ මගේ හෙද නිලධාරී කෝසල සහ ගිලන් රථ සහයක රුවන් සමඟයි. රෝහලෙන් පිටවන විට වේලාව උදේ 7.45 ට පමණ ඇති. අදාළ නිවස අසලට යන විට උදේ 7.50 පමණ වුණා.
කළු සුදු ඇඳගත් පිරිමි කෙනෙක් ඇවිත් ඔහු නීතිඥවරයෙක් බව පවසා මට ඔහුව හඳුන්වා දුන්නා. ඔහු අපිව පළමු මහලට කැඳවාගෙන ගියා. 'උඩු මහලේ මේ කාමරයේ තමයි ඉන්නේ' කියලා ඔහු කිව්වා. ඒ වන විට නිදන කාමරයේ දොර විවෘත කර තිබුණා. කාමරය කළුවරයි, විදුලි පහන් දල්වා තිබුණේ නැහැ. නීතිඥවරයා විදුලි පහන් දල්වා 'අතන තමයි ඉන්නේ' යැයි කිව්වා.
කාමරයේ ඇඳ හිස්වයි තිබුණේ. මම වම් පැත්තට හැරී බැලූ විට එහි කොනේ දොරක් තිබුණා. එතන පුටුවක් හරවා තිබුණා. දොර පැත්තේ තිබූ පුටුව යට පුද්ගලයෙකු වැටී සිටියා. මම ඔහුව පරීක්ෂා කළා. ඒ වන විටත් ඔහු මරණයට පත්වී සිටියේ. පරීක්ෂණ හතරක් සිදු කර මරණය තහවුරු කරගත්තා. මරණකරුගේ දකුණු අත ඔසවා බැලුවා. මුහුණ තිබුණේ පුටුවට තද වෙලයි. හෘද ස්පන්දනයක් තිබුණේ නැහැ. හුස්ම ගැනීම නතර වී තිබුණා. දකුණු අත ඔසවා බලන විට එය සම්පූර්ණයෙන්ම ගල් වී තිබුණේ නැහැ, අඩක් පමණයි ගල් වී තිබුණේ. දකුණු ඇසේ කළු ඉඟිරියාව ඝන වී විශාල වී තිබුණා."
පොලිසිය: "මේ දේවල්වලට අමතරව එම කාමරයේ තවත් යමක් සාක්ෂිකාරිය දුටුවාද?" සාක්ෂිකාරිය: "මරණයට පත් පුද්ගලයාගේ මුහුණ ඔසවා බැලුවේ නැහැ. රෙදි පටියකින් ගෙල සිරවී තමයි තිබුණේ."
පොලිසිය: "ඔබ මරණකරු පරීක්ෂා කළ වේලාවට පෙර කොපමණ වේලාවකින් ඔහු මරණයට පත්ව ඇත්දැයි නිගමනය කිරීමට හැකි වුණාද?" සාක්ෂිකාරිය: "මම පරීක්ෂා කළ වේලාවට පෙර පැයක් හෝ දෙකක් ඇතුළත මෙම සිදුවීම වී ඇති බවට නිරීක්ෂණය වුණා." නීතිඥ ප්‍රියන්ත උපාලි අමරසිංහ මහතාගේ සාක්ෂිය (හතරවන සාක්ෂිකරු)
සිද්ධියට අදාළව හතරවන සාක්ෂිකරු වන නීතිඥ ප්‍රියන්ත උපාලි අමරසිංහ ඉන් අනතුරුව අධිකරණයට සාක්ෂි ලබා දුන්නා.
සාක්ෂිකරු: "ස්වාමිනී, ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා මැයි 07 වන දින රාත්‍රී 9.30 ට පමණ දුරකථනයෙන් කතා කර, මැයි 8 වන දින උදේ 7.15 ට පමණ අරවින්ද ද සිල්වා මහතාගේ නිවසට යන ලෙස මට දැනුම් දුන්නා. එම නීතිඥ මහතා මට කතා කර හෙට කුමන උසාවියේද සිටින්නේ කියා ඇසුවා. මම කිව්වා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අංක දෙකේ සහ දිසා අධිකරණයේ ඉන්නවා කියලා. ඊට පස්සේ ඔහු කිව්වා කපිල මහතාගේ මෝසමක් ගොනු කරලා හෙට අධිකරණයට ඉදිරිපත් කිරීමට තිබෙනවා කියලා. ඒ අනුව මගේ කාර්යාලයෙන් මෝසමක් සකස් කර එවන්නම් යැයි ජනාධිපති නීතිඥවරයා මට කිව්වා. ඊට පස්සේ අරවින්ද ද සිල්වා මහතා මට කතා කරයි කියලත් ඔහු කිව්වා. ඒ අනුව කපිල මහතාව එම මෝසමත් සමඟ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන්න යැයි කිව්වා. මෝසම ඉදිරිපත් කර එය 'Keep down' (කල් තබා ගන්න) කරන්න කියලත් ජනාධිපති නීතිඥවරයා කිව්වා.
එම උපදෙස් ලබා දී ජනාධිපති නීතිඥතුමා මට පැවසුවේ කපිල මහතා රිමාන්ඩ් වෙයි කියා තරමක බියකින් පසුවන බවයි. අරවින්ද කතා කළාට පසුව ගොස් කපිලව හමුවී ඒ කරුණු පැහැදිලි කර දෙන්න කියා මගේ ප්‍රධාන නීතිඥතුමා මට කිව්වා. මම සමාජ මාධ්‍ය මඟින් දැක්කා අල්ලස් කොමිසම විසින් නැවතත් ඔහුට විරුද්ධව කරුණු දක්වා තිබෙනවා කියලා.
07 වැනිදා රාත්‍රී 11.00 න් පසුව මට අරවින්ද කතා කරලා කිව්වා, 'රියන්සි මහත්තයා මට අංකය දුන්නා කපිලගේ මෝසම සම්බන්ධයෙන් කතා කරගන්න' කියලා. ඒ වෙලාවේ මම කිව්වා, 'ඔව් සර්, මට විස්තරය කිව්වා' කියලා. ඒ අවස්ථාවේදී අරවින්ද කිව්වා කපිල 31 ද, 21 ද කියා වගන්තියක් ගැන කියමින් බයෙන් ඉන්නවා කියලා. මම දන්නේ නැහැ මොකක්ද ඒ වගන්තිය කියලා. ඒ වන විටත් ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා මට ලබා දී තිබූ උපදෙස් අනුව, කපිල ඉන්නේ කොහේද කියා මම අරවින්දගෙන් ඇසුවා. ඔහු තමන්ගේ නිවසේ ඉන්නවා යැයි අරවින්ද කිව්වා. ඊට පස්සේ මම කිව්වා මගේ පුතාව උදේ පාසලට දාලා 7.15 ට පමණ මට අරවින්දගේ නිවසට එන්න පුළුවන් කියලා.
ඉන්පසුව මම කතිකා කරගත් වේලාවටම අරවින්දගේ ගෙදරට ගියා. මම ගේට්ටුව ළඟට යද්දී උදේ 7.15 ට පමණ ඇති. මම අරවින්දට ඇමතුමක් ගත්තා. මම ගියේ තනියම. අරවින්ද ඇමතුමට පිළිතුරු දෙමින් කිව්වා 'මම දැන් තමයි නැගිට්ටේ' කියලා. ගෙදර සේවකයෙක් ඇවිත් මට වාඩි වෙන්න කියා තේ එකක් හදා දුන්නා. අරවින්ද උඩ ඉඳලා පහළට එන ගමන් කිව්වා, 'කපිලට කෝල් ගත්තා, ආන්සර් කරන්නේ නැහැ' කියලා. ඒ වෙලාව උදේ 7.20 යි. මම කිව්වා දොරට තට්ටු කරලා බලන්න කියලා. අරවින්ද ගොස් දොරට තට්ටු කරන ශබ්දය මට ඇහුණා. ඔහු නැවතත් පහළට ඇවිත් කිව්වා, 'දොර අරින්නේ නැහැනේ' කියලා. මම ඒ වෙලාවේ කිව්වා 'කපිල එළියට ගිහිල්ලද දන්නේ නැහැ, ගෙදර වැඩ කරන අයගෙන් අහලා බලන්න' කියලා.
ඊට පස්සේ මායි, අරවින්දගේ බිරිඳයි, අරවින්දයි පළමු මහලට ගියා. අරවින්ද අවශ්‍යතාවයකට නාන කාමරයට ගියා. මම අරවින්දගේ බිරිඳගෙන් ඇහුවා ගෙදර ප්‍රධාන යතුරක් (Master Key) තියෙනවද කියලා. ඉන්පසු ඇය මට ප්‍රධාන යතුර ගෙනත් දුන්නා. ඒකෙන් දොර ඇරියා. දොර අරිනකොටම මම දුටුවා ඇඳේ ඇතිරිල්ල යම් යම් තැන්වල හැකිළී පොඩි වී තිබුණා. ඇඳේ යම්කිසි ඇඳුමක කොටසක් තිබෙනවා දැක්කා. ඊට පස්සේ වම් පැත්තේ බැලුවාම දොරක් තිබුණා. ඒ දොරේ උඩ ටයි පටියක් වගේ තද කොළ පාට දෙයක් තිබුණා. නිල් පාට පුටුවක් තිබුණා. ඒ පුටුව උඩ තට්ටය සහිත ඔලුවක් තිබෙනවා මම දැක්කා. ප්‍රථමයෙන්ම මම මේ දර්ශනය දුටු වහාම තරමක් බියට පත් වුණා. අරවින්දගේ නෝනා හිටියේ දොර ළඟයි. මම අතින් සංඥාවක් කර ඇයත් සමඟ කාමරයෙන් පිටතට ආවා. මම දැක්කේ ඔලුවේ තට්ටය සහිත කොටස පමණයි. බෙල්ලේ උඩ පටියක් තියෙනවා වගේ මට නිරීක්ෂණය වුණා.
අරවින්ද ද සිල්වා මහතා ඒ වෙලාවේ එතැනට ආවා. මම කිව්වා 'මැරිලා වගේ, දන්න ඩොක්ටර් කෙනෙක්ට ඉක්මනින් කතා කරන්න' කියලා. අරවින්දත් එකපාරම බියට පත් වූ බව මම දුටුවා. ඔහු ඇමතුම් ගන්නා විට බියෙන් සිටින බව මම දැක්කා. ඔහු වෛද්‍යවරුන්ට දුරකථන ඇමතුම් ගත්තා. ඒ අවස්ථාවේ මට මතක් වුණා ළඟම තියෙන පෞද්ගලික රෝහලට කතා කරන්න කියලා. ඒ අවස්ථාවේ මගේ ඔලුවට ආවේ පණ තිබුණොත් කපිලව බේරාගන්න පුළුවන් කියන සිතුවිල්ල විතරයි. පසුව ගිලන් රථයක් සහ වෛද්‍යවරයෙකු සමඟ තවත් කාර්ය මණ්ඩලයක් එහි පැමිණියා. තුන්දෙනෙක් කාමරය ඇතුළට ගියා. මට මතක විදිහට ඔවුන් නාඩි බලනවා මම දැක්කා. පසුව වෛද්‍යවරයා පරීක්ෂා කර බලා කපිල මහතා මියගොස් ඇති බව පැවසුවා." නිවසේ සේවිකාව වන සුබ්‍රහිම් ප්‍රමිලාගේ සාක්ෂිය (හයවන සාක්ෂිකාරිය)
සිද්ධියට අදාළව සාක්ෂි ලබා දෙමින් හයවන සාක්ෂිකාරිය වන, කපිල චන්ද්‍රසේන මහතාගේ නිවසේ සේවිකාව වන සුබ්‍රහිම් ප්‍රමිලා මෙසේ ප්‍රකාශ කළාය:
සාක්ෂිකාරිය: "ස්වාමිනී, මම කපිල සර්ගේ සේවිකාව ලෙස අවුරුදු එකහමාරක පමණ කාලයක ඉඳලා වැඩ කරනවා. බාන්ස් ප්ලේස් නිවසේ තමයි වැඩ කරන්නේ. නිවසේ හිටියේ සර් සහ මමයි තවත් සේවිකාවකුයි විතරයි. මම සර්ගේ කෑම හදනවා, රෙදි හෝදනවා, රෙදි මදිනවා වගේ වැඩ කරනවා. කපිල මහතාගේ කාමරය පිරිසිදු කරන්නේ මමයි. ඒ නිවසේ සේවකයන් තුන්දෙනෙක් ඉන්නවා. ඒ මමත්, මගේ ස්වාමිපුරුෂයා සහ සෝමදාස කියන අංකල් කෙනෙකුයි. කපිල මහත්තයා රැකියාවක් කළා කියා මම දන්නේ නැහැ. බිරිඳ සහ දරුවන් පිටරට ඉන්නවා කියලා තමයි දන්නේ. ඔහු බන්ධනාගාරගත වෙලා හිටියා කියා දන්නවා, හැබැයි බන්ධනාගාරයේ ඉද්දි මම බලන්න ගියේ නැහැ."
පොලිසිය: "කපිල මහත්තයාට ඇප ලැබුණා කියලා ඔබ දැනගෙන හිටියාද?" සාක්ෂිකාරිය: "දැනගෙන හිටියේ නැහැ. මැයි හය වෙනිදා හවස 5.00 ට පමණ තමයි සර් ගෙදර ආවේ. වාහනයෙන් බැහැලා එනකොට මම ගේට්ටුව ඇරියා. මට මුකුත් කිව්වේ නැහැ, ගේ ඇතුළට ගියා. 'වොෂ් එකක් දාගෙන පහළට එන්නම්' කිව්වා. රෑ 7.30 ට පමණ කෑම කන්න ඇවිත් අපිත් එක්ක කතා කළා. 'අපිට කෑම හොඳද? බල්ලන්ට කෑම තියෙනවද?' කියා අපෙන් ඇහුවා. ඊට පස්සේ 'මට පොඩ්ඩක් අමාරුයි, හෙට කතා කරන්නම් ඔයාලට' කියා රෑ 9.15 ට පමණ කාමරයට ගියා.
පහුවදා උදේ මම කෝපි එකක් හැදුවා. ඔහු පහළට ආවේ නැහැ. මම උඩට ගියා පිරිසිදු කරන්න. ඒ වෙලාවේ ඔහු කාමරේ දොර ඇරගෙන එළියට ඇවිත්, 'මම කෝපි එක ගන්නවා' කියලා කෝපි එක අරගෙන දොර වසාගත්තා."
පොලිසිය: "ඒ වෙලාවේ කපිල මහත්තයාට දුරකථන ඇමතුම් ආවාද? එසේ පැමිණියේ නම් ඔබට ඇසුණාද?" සාක්ෂිකාරිය: "එහෙම ඇහුණේ නැහැ."
පොලිසිය: "එම අවස්ථාවේදී කවුරුන් හෝ කපිල මහතා හමුවීමට පැමිණියාද?" සාක්ෂිකාරිය: "කවුරුත් ආවේ නැහැ."
පොලිසිය: "ඊට පසු සිදුවූයේ කුමක්ද?" සාක්ෂිකාරිය: "මැයි 7 වැනිදා හවස 3.30 ට පමණ සර් ගියා. මට හරියටම වේලාව මතක නැහැ. සර් තනියම තමයි ගියේ."
පොලිසිය: "කපිල මහත්තයාගේ මෝටර් රථය නැවත යම්කිසි කෙනෙකු විසින් නිවසට ගෙනත් දැම්මාද?" සාක්ෂිකාරිය: "ඔව්. අරවින්ද සර්ගේ රියදුරෙක් ගෙදරට කාර් එක ගෙනත් දාලා යතුර මගේ අතට දුන්නා. ඊට පස්සේ සර් මට රෑ 11.30 ට පමණ ඇමතුමක් දීලා කිව්වා 'අඳින්න ඇඳුමකුයි, කණ්ණාඩි දෙකයි, බෙහෙත් ටිකකුයි, නිල් පාට බෙල්ට් එකයි එවන්න' කියලා. ඊට පස්සේ දෙවෙනි වතාවටත් මට කතා කරලා කිව්වා 'මගේ සරම යට තියෙන නිල් පාට බෙල්ට් එක එවන්න' කියලා. මම ඒ සේරම දාලා බෑග් එකක් හදලා දුන්නා. ඒක සුදු සහ කළු පැහැති පොලිතින් බෑග් එකක්. ඒ බෑග් එකේ රූපයක් මුද්‍රණය කර තිබුණා. 'වාහනයක් එවනවා, ඒකට දෙන්න' කියලා කපිල මහත්තයා කතා කරපු වෙලාවේ මට කිව්වා. මම ඒක වාහනෙට දුන්නා. ඒ වාහනේ ඇතුළේ දෙන්නෙක් හිටියා, මට ඔවුන් කවුද කියා අඳුරගන්න බැරි වුණා."
පොලිසිය: "එම ඇඳුම් බෑගය ලැබුණා කියා කපිල මහත්තයා ආපසු ඔබට දුරකථන ඇමතුමක් ලබා දුන්නාද?" සාක්ෂිකාරිය: "නැහැ, ආපසු කතා කළේ නැහැ. සර් පසුදින උදෑසන ආවේ නැහැ. සර් ආවේ නැති නිසා මම පාන්දර 6.40 ට පමණ ඇමතුමක් ගත්තා. ෆෝන් එක රින්ග් වුණත් ආන්සර් කළේ නැහැ. මම බලාගෙන හිටියා සර් එනකම්. මොකද සර් රෑ කතා කරපු වෙලාවේ මට කිව්වා 'හෙට උසාවි යන්න ඕනේ, ඇඳුමක් ලෑස්ති කරන්න' කියලා. මම සුදු පාට ඇඳුමක් මැදලා බලාගෙන හිටියා.
ඊට පස්සේ උදේ 7.25 ට පමණ CID එකේ කට්ටියක් කියා පස්දෙනෙක් නිවසට ආවා. 'සර් ගෙදර ඉන්නවාද?' කියා ඇහුවා. මම 'සර් ගෙදර නැහැ' කිව්වාම ඔවුන් 'බොරු කියන්න එපා' කිව්වා. ඊට පස්සේ මම කාමර ඔක්කොම පෙන්නුවා. ඒ ආපු මහත්වරු මගේ තොරතුරු ලියාගෙන ගියා.
ඊට ටික වෙලාවකට පස්සේ සෝමදාස අංකල් කතා කරලා කිව්වා 'ෆෝන් එකේ මොනවාදෝ දාලා තියෙනවා සර්ට මොකක් හරි වෙලා කියලා, මගේ ෆෝන් එකෙන් බලන්න' කියලා. මම මගේ ෆෝන් එකෙන් බැලුවා, මුකුත් තිබුණේ නැහැ. ඊට ටික වෙලාවකට පස්සේ සෝමදාස අංකල් ඇවිත් 'අපේ සර් මොකක් හරි කරගෙන නැතිවෙලා' කියලා මට කිව්වා."
පොලිසිය: "සාක්ෂිකාරියත් ගියාද කපිල මහත්තයාව බලන්න?" සාක්ෂිකාරිය: "නැහැ, මම ගියේ නැහැ."
පොලිසිය: "ඔබ ජාතික රෝහලට ගියාද?" සාක්ෂිකාරිය: "කපිල මහතාව හඳුනාගන්නත්, බෙල්ට් එක හඳුනාගන්නත් මම ගියා."
මහේස්ත්‍රාත්වරයා: "ඔබ බෑග් එකේ දාලා ඔහුට මොනවාද යැව්වේ?" සාක්ෂිකාරිය: "කළු ටී ෂර්ට් දෙකයි, සර් බොන බෙහෙත් පැකට් ඇතුළු පර්ස් එකයි, කණ්ණාඩි කුට්ටම් දෙකයි."
මෙම මරණ පරීක්ෂණයේ සාක්ෂි විභාගය තවදුරටත් පැවැත්වෙනවා.