මහා භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක දැවැන්ත මුදල හුදෙක් සයිබර් අපරාධයක් පමණක් නොව, ජීවිතයක් බිලිගත් හා පාර්ලිමේන්තුව උණුසුම් කළ බරපතළ දේශපාලන කුණාටුවක් බවට මේ වන විට පත්ව තිබේ. මෙම මූල්‍ය අක්‍රමිකතාව සිදුව ඇත්තේ ඕස්ට්‍රේලියානු අපනයන මූල්‍ය සමාගම (Australian Export Finance Ltd) වෙත ගෙවීමට තිබූ ණය මුදලක් පියවීමේදීය.
විදේශ සම්පත් දෙපාර්තමේන්තුවට ලැබුණු ව්‍යාජ විද්‍යුත් තැපැල් (Email) පණිවිඩයකට රැවටී, නිලධාරීන් විසින් අදාළ මුදල වෙනත් තුන්වන පාර්ශ්වයක ගිණුමකට බැර කර ඇත. සැබෑ රාජ්‍ය විද්‍යුත් ලිපිනය වන '.gov.au' සහ වංචාකරුවන්ගේ '.com' ලිපිනය අතර වෙනස හඳුනා ගැනීමට නිලධාරීන්ට නොහැකි වීම මෙම ඛේදවාචකයේ ආරම්භයයි.කුලියාපිටියේදී සිය දිවි හානි කරගත් රංග රාජපක්ෂ නමැති සහකාර අධ්‍යක්ෂවරයා මෙම වැරදි තේරුම් ගැනීම සිදුකර අදාළ ඊමේලය නිවැරදි එකක් ලෙස හඳුනාගෙන ගනුදෙනුව සඳහා අවශ්‍ය ගිණුම් අංකය තහවුරු කර තිබූ අතර අවාසනාවට ඔහුගෙන් පසුව පරීක්ෂා කිරීම් කළ නිලධාරීන්ද මෙම දෝෂය තේරුම්ගැනීමට උනන්දුවක් දක්වා නොතිබුණි. ඒ අනුව මොහු ඇතුළු නිලධාරීන්ගේ අනුමැතිය මත ගිණුම් අංශයෙන් අවස්ථා කිහිපයකදී ගනුදෙනුව සිදුකරද්දී මුදල් ලැබුනාද යන්න අසා ඇත්තේත් මෙම ව්‍යාජ ඊමේල් හිමිකරුගෙනි. ව්‍යාජ ඊමේලයෙන් මුදල් ලැබුණ බවට තහවුරු කිරීම්ද සිදුකර තිබුන බව වාර්තාවේ. රංග රාජපක්ෂ සිදුව ඇති දෝෂය පසු කලෙක දැනගත් පසු අතිශය කලබලයට පත්වූ අයෙකු වන නමුත් ඔහු මේ ගැන පැමිණිල්ල මුලින්ම ඉදිරිපත් කළ පුද්ගලයා නොවන බව මේ වනවිට රජය තහවුරු කර තිබේ. පැමිණිල්ල කර ඇත්තේ අංශ ප්‍රධානියාය.
මෙම නිලධාරීන් ගනුදෙනුව සිදුකර කලක් ගතවීත් තමන් අතින් සිදුව ඇත්තේ දෝෂයක් බව දැන නොසිටීම විමති දායකය. ඔස්ට්‍රෙලියානු සැබෑ ගිණුම් හිමියන් මුදල් ලැබුණ නොලැබුණ බවට ප්‍රතිචාර දක්වන්නේ ටික කලකට පසුව නිසා මේ ගැන කිසිවෙකු මුලදී දැනගෙන නැත.
කෙසේ වෙතත් මේ බව මුල්වරට අදාළ අංශයට වාර්තාවන්නේ වෙනත් ගනුදෙනුවක් කරන්නට යාමකදී බව වාර්තාවේ.
ඉන්දියානු එක්සිම් බැංකුවට (Exim Bank India) වෙනත් ණයක් පියවීමකට යාමේදී අදාළ ගෙවීම් සම්බන්ධයෙන් සම්බන්ධීකරණය කළ වෙනත් නිලධාරිනියකට ඇති වූ දැඩි සැකයක් මත මෙම දැවැන්ත වංචාව මුල්වරට අනාවරණය වී තිබේ. එහිදී 'Bank' යන වචනය 'Benk' ලෙස අක්ෂර වින්‍යාසය වෙනස් කර තිබීම නිරීක්ෂණය වීමෙන් පසු ඉන්දීය ගෙවීම් වහාම නතර කිරීමට පියවර ගෙන ඇති අතර අදාළ අංශයට එන විදයාතු තැපැල් ලිපිනයන් වැඩි දුර පරීක්සාවට පියවර ගෙන ඇත. ඩොලර් මිලියන 2.5 දෝෂය දැනගන්නේ එවිටය. කෙසේ වෙතත්, ඒ වන විටත් ඕස්ට්‍රේලියාවට අයත් මුදල වංචාකරුවන් සතු වී හමාරය.
මෙම ගෙවීම් කටයුතු මෙහෙයවූ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ රංග රාජපක්ෂ මහතාගේ හදිසි මරණයත් සමග සිද්ධිය තවත් සංකීර්ණ විය. විපක්ෂය මෙම මරණය සම්බන්ධයෙන් විවිධ සැක සංකා මතු කරමින්, මෙය අභිරහසක් හෝ ලැජ්ජාව නිසා සිදුවූවක් බවට චෝදනා කළද, රජය පාර්ශ්වයෙන් එම චෝදනා දැඩිව ප්‍රතික්ෂේප කෙරිණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේ මුදල් වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළේ මියගිය නිලධාරියා නොව, විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා බවයි. මියගිය නිලධාරියාගේ පවුලේ සාමාජිකයින් දැඩි කම්පනයට පත්ව සිටින බවත්, ඔහුගේ දානමය පුණ්‍යකර්මයෙන් පසුව, පදනම් විරහිත අසත්‍ය ප්‍රකාශ සිදුකළ පාර්ලිමේන්තුවෙන් පිටත සිටින පුද්ගලයින් දෙදෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගැනීමට ඔවුන් සූදානම් බවත් අමාත්‍යවරයා පැවසීය. භාෂණයේ නිදහස යනු අසත්‍ය ප්‍රචාරය කිරීම නොවන බව ඔහු එහිදී දැඩිව කියා සිටියේය.
අනෙක් අතට විපක්ෂය මෙම සිදුවීම හඳුන්වන්නේ හුදු සයිබර් ප්‍රහාරයක් නොව ඉහළ නිලධාරීන්ගේ බරපතළ නොදැනුවත්කම සහ අවිද්‍යාව නිසා සිදුවූවක් ලෙසයි. ඩිජිටල් ආර්ථිකයක් කරා යන බව පවසන රජයක නිලධාරීන්ට නිල වෙබ් අඩවියක් සහ ව්‍යාජ වෙබ් අඩවියක් හඳුනාගැනීමට නොහැකි වීම කනගාටුදායක බව පවසන ඔවුහු, මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ ජාතියෙන් සමාව ගත යුතු බවටද බලපෑම් කරති. ඊට අමතරව මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතා ද්විත්ව පුරවැසියෙකු බවටද චෝදනා නැඟුණු අතර, කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා එය මුළුමනින්ම ප්‍රතික්ෂේප කළේය. ලේකම්වරයා කිසිදු අවස්ථාවක ද්විත්ව පුරවැසිභාවයක් දරා නොමැති බවත්, හැකි නම් එය ඔප්පු කර පෙන්වන ලෙසත් ඔහු විපක්ෂයට අභියෝග කළේය.
මේ වන විට අදාළ සිදුවීමට සම්බන්ධ මහා භාණ්ඩාගාර නිලධාරීන් කිහිප දෙනෙකුටම ස්ථාන මාරුවීම් ලබා දී ඇති අතර, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SLCERT) සහ කොළඹ විශ්වවිද්‍යාලයේ විශේෂඥයින් එක්ව පුළුල් තාක්ෂණික විමර්ශනයක් ආරම්භ කර තිබේ. මීට පෙර සිදු කරන ලද ජාත්‍යන්තර ණය ආපසු ගෙවීම්ද මෙලෙස තුන්වන පාර්ශ්වයන්ගේ ගිණුම් වෙත බැර වී ඇත්දැයි සෙවීමට බලධාරීන් කටයුතු කරමින් සිටියි.
තාක්ෂණික නොදැනුවත්කමක මිල ඩොලර් මිලියන ගණනකින් සහ වටිනා මනුෂ්‍ය ජීවිතයකින් ගෙවීමට සිදුවූ පසුබිමක, රටේ මූල්‍ය ආරක්ෂණය පිළිබඳව මෙන්ම දේශපාලන සදාචාරය පිළිබඳවද ඉතිරි කර ඇත්තේ කිසිදා නොමැකෙන කලු පැල්ලමකි.