China, India, and UAE are in a race to acquire the Mattala Airport, for which bids were invited.

china-india-and-uae-are-in-a-fight-to-get-the-prices-called-mattala-airport

ජාත්‍යන්තර මාධ්‍ය විසින් හම්බන්තොට වරාය සහ මත්තල ගුවන් තොටුපළ නිරන්තරයෙන් හඳුන්වනු ලැබුවේ චීන ණය උගුලක් ලෙසිනි. මෙම තත්ත්වය මත 2017 වසරේදී එවකට පැවති මෛත්‍රී-රනිල් රජය විසින් හම්බන්තොට වරාය චීනයට බදු දීමට පියවර ගත් අතර, ඊට ඉන්දියාවෙන් දැඩි විරෝධයක් එල්ල විය.

කෙසේ වෙතත්, අසල්වැසි රාජ්‍යයෙන් එල්ල වූ එම විරෝධය හමුවේ වුවද සිය තීරණය වෙනස් කිරීමට මෛත්‍රී-රනිල් රජය කටයුතු කළේ නැත.




ඉන් අනතුරුව 2024 වසරේදී, ලොව පාළුම ගුවන් තොටුපළ ලෙස අපවාදයට ලක්ව තිබූ මත්තල ගුවන්තොටුපළ ඉන්දු-රුසියානු ඒකාබද්ධ සමාගමකට බදු දීමට රනිල් වික්‍රමසිංහ රජය විසින් තීරණය කරනු ලැබීය. එහෙත් එම තීරණයට ඇමෙරිකා එක්සත් ජනපදයේ අප්‍රසාදය පළ වූයේ, මත්තල ගුවන් තොටුපළ බදු ගැනීමට ඉදිරිපත් වූ අදාළ රුසියානු සමාගමට ඒ වන විටත් ඇමෙරිකාව විසින් සම්බාධක පනවා තිබූ පසුබිමකය. ඒ අනුව 2024 වසරේ බලයට පත් වූ අනුර කුමාර දිසානායක රජය විසින් අදාළ ගිවිසුම ක්‍රියාත්මක නොකිරීමට පියවර ගන්නා ලදී.

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරුබදු ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඇමෙරිකාව අතර මෑතකදී පැවති සාකච්ඡා අතරතුරදී මත්තල ගුවන් තොටුපළ සම්බන්ධයෙන් ඇමෙරිකානු උනන්දුවක් පවතින බව ද පැහැදිලි විය. ඉන් පසුව මත්තල ගුවන් තොටුපළ කළමනාකරණය සඳහා විදේශ ආයෝජන කැඳවීමට වත්මන් රජය තීරණය කළ අතර, මේ වන විට ඒ සඳහා ඉන්දියාව සහ චීනය ද සිය කැමැත්ත පළ කර තිබේ. මීට අමතරව මැදපෙරදිග සමාගම් ද මෙම ව්‍යාපෘතිය සඳහා උනන්දුවක් දැක්වීම මෙහි දක්නට ලැබෙන නවතම ප්‍රවණතාවයකි.




මෑතකදී ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපතිවරයා, වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ හමුවී කොළඹ වරාය සහ ශ්‍රී ලංකාවේ ගුවන් සේවා අංශය පිළිබඳව සිය උනන්දුව පළ කර තිබූ අතර, වරාය සහ ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක ද මත්තල ගුවන් තොටුපළ කෙරෙහි මැදපෙරදිග සමාගම් දක්වන උනන්දුව සම්බන්ධයෙන් පසුගියදා ඉතා ඉහළින් අදහස් දක්වා තිබිණි.

මත්තල ගුවන් තොටුපළ සඳහා ඉන්දියාව සහ චීනය යන දෙරටම එකවර උනන්දුවක් දැක්වීම හේතුවෙන් නිර්මාණය විය හැකි භූ දේශපාලනික සටන පිළිබඳව රජයට පැහැදිලි අවබෝධයක් තිබීම අත්‍යවශ්‍ය වේ. මෙය චීනය විසින් ඉදිකරන ලද ගුවන් තොටුපළක් වන අතර, ඊට යාබදව පිහිටි චීනය විසින්ම ඉදිකළ හම්බන්තොට වරාය චීනයට බදු දීමට ද අතීතයේදී ඉන්දියාව විරුද්ධ විය. චීනය හම්බන්තොට තෙල් පිරිපහදුවක් ඉදිකිරීම සඳහා රජය සමඟ ගිවිසුමක් අත්සන් කර තිබුණද එය තවමත් ක්‍රියාත්මක වී නොමැති පසුබිමක, හම්බන්තොට වරාය සහ ගුවන් තොටුපළ යන මර්මස්ථාන දෙකම චීන පාලනයට නතු වීම ඉන්දියාව කිසිසේත්ම ප්‍රිය නොකරනු ඇත. අනෙක් අතට, චීනය විසින් පාලනය කරන වරායක් අසල ඇති ගුවන් තොටුපළක පාලනය ඉන්දියාව විසින් අත්පත් කරගැනීම චීනය විසින් ද ඉවසා සිටිනු ඇතැයි විශ්වාස කිරීම අපහසුය.



මෙම සංකීර්ණ පසුබිම තුළ, ගුවන් තොටුපළේ කළමනාකාරිත්වය මැදපෙරදිග සමාගමකට ලබාදීම හරහා එහි පාලනය සම්බන්ධයෙන් චීනය සහ ඉන්දියාව අතර ඇතිවිය හැකි භූ දේශපාලනික ගැටුම මඟහරවා ගැනීමට රජය උත්සාහ කරන්නේද යන්න මෙතෙක් පැහැදිලි වී නොමැත.

Post a Comment

Previous Post Next Post