හැකරුන් පනින්න පෙර විපක්ෂ මන්ත්‍රීන් 04 ක් දැනගෙන ඉඳලා

04-opposition-members-were-known-before-the-hackers-jumped

ශ්‍රී ලංකාව විසින් විදේශ ණය වාරිකයක් ලෙස ගෙවීමට නියමිතව තිබූ ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 25 ක දැවැන්ත මුදලක් වංචනික ලෙස වෙනත් පාර්ශවයක බැංකු ගිණුමකට බැරවීමේ බරපතළ සිදුවීම පිළිබඳව විපක්ෂයේ මන්ත්‍රීවරුන් සිවුදෙනෙකු කල්තියා තොරතුරු දැන සිටි බවට කරුණු අනාවරණය වේ. මෙවැනි මූල්‍ය අක්‍රමිකතාවක් පිළිබඳව තොරතුරු ලැබී තිබියදීත්, අදාළ මන්ත්‍රීවරුන් ඒ සම්බන්ධයෙන් බලධාරීන් දැනුවත් කිරීමෙන් හෝ කරුණු හෙළිදරව් කිරීමෙන් වැළකී සිටීම විශේෂත්වයකි.




මෙම තොරතුරු වසන් කළ බවට චෝදනා එල්ල වන සිවුදෙනා අතර ආර්ථික කටයුතු සම්බන්ධයෙන් නිරන්තරයෙන් හඬ නගන විපක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකු ද සිටින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි. මූලිකවම මුදල් අමාත්‍යාංශයේ සේවය කරන පිරිසක් විසින් මෙම මූල්‍ය වංචාව පිළිබඳ තොරතුරු අදාළ මන්ත්‍රී කණ්ඩායම වෙත ලබා දී ඇති අතර, ඔවුන් කුමන හේතුවක් නිසා එම සිද්ධිය ප්‍රසිද්ධ කිරීමට මැළි වූයේද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බව පැවසේ.

මේ පිළිබඳව දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතාගෙන් කළ විමසීමකදී ඔහු තහවුරු කළේ මෙම සිදුවීම විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු දැන සිටි බවට තමාට ද තොරතුරු ලැබී ඇති බවයි. විපක්ෂයේ මන්ත්‍රීවරුන් මෙම බරපතළ මූල්‍ය අවභාවිතය සම්බන්ධයෙන් නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම හේතුවෙන්, එම තොරතුරු අනාවරණය කළ පිරිස පසුව ‘ශ්‍රී ලෝයර්ස්’ සංවිධානයේ නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා දැනුවත් කිරීමට පියවර ගෙන ඇත.




ශ්‍රී ලෝයර්ස් සංවිධානය විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා වෙත නිල වශයෙන් පැමිණිලි කර ඇති බව වාර්තා වේ. මේ අතර, අදාළ ණය වාරික මුදල මේ වන විට ඇමෙරිකා එක්සත් ජනපදයේ පවතින බැංකු ගිණුම් වෙත ලැබී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Post a Comment

Previous Post Next Post