2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාවට සම්බන්ධයෙන් වරදකරුවන් වූ පුද්ගලයන්ට එරෙහිව අධිකරණය ලබා දුන් තීන්දුව කොළඹ අගරදගුරු පදවිය විසින් සාදරයෙන් පිළිගෙන තිබේ. ප්‍රහාරයෙන් විපතට පත්වූවන් සහ ඔවුන්ගේ පවුල්වල සමීපතමයන් වසර ගණනාවක් පුරා අසාධාරණයට ලක්ව සිටි පසුබිමක මෙලෙස නීතිය පසිඳලීම පිළිබඳව සතුට පළ කරන බව කොළඹ අගරදගුරු පදවියේ ජනමාධ්‍ය අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළහ.
එමෙන්ම කිසිදු විටෙක ප්‍රචණ්ඩත්වය සාධාරණීකරණය කිරීම සඳහා ආගම විකෘති නොකළ යුතු බවටත්, ආගමික අන්තවාදයට එරෙහිව ප්‍රබල පණිවුඩයක් ලබා දීමටත් මෙම නඩු තීන්දුව හේතු වන බව උන්වහන්සේ වැඩිදුරටත් පෙන්වා දුන්හ.
කෙසේ වෙතත්, මෙම නඩු තීන්දුව මගින් පාස්කු ප්‍රහාරය පිටුපස ඇති සම්පූර්ණ සත්‍යය අනාවරණය කරගැනීමේ උත්සාහය අවසන් නොවිය යුතු බව කතෝලික සභාව අවධාරණය කරයි. දඬුවම් ලැබූ පුද්ගලයන් සමස්ත සිදුවීමේ එක් කොටසක් පමණක් නියෝජනය කරන බැවින්, මෙම ප්‍රහාර මාලාවට පහසුකම් සැලසීමට හෝ එය සිදුවීමට ඉඩ හැරීමට වෙනත් පාර්ශ්වයන් සම්බන්ධ වී තිබේද යන්න පිළිබඳව ඉදිරි විමර්ශන ක්‍රියාත්මක විය යුතු බව ක්‍රිෂාන්ත පියතුමෝ සඳහන් කළහ.
ප්‍රහාරය වැළැක්වීම සඳහා අවශ්‍ය තරම් තොරතුරු බුද්ධි හා ආරක්ෂක අංශ සතුව පැවතුණද ඔවුන් ඒ අනුව කටයුතු කිරීමට අපොහොසත් වූ බවට චෝදනා කළ උන්වහන්සේ, එම නොසැලකිලිමත්කම පිටුපස යම් බාහිර මැදිහත්වීමක් හෝ වෙනත් අරමුණක් තිබුණේද යන්න අනාවරණය කරගත යුතු බව ප්‍රකාශ කළහ.
මීට පෙර පැවැත්වූ නිල පරීක්ෂණ මගින් පූර්ව බුද්ධි තොරතුරු හසුරුවන ලද ආකාරය පිළිබඳව අවධානය යොමු කර තිබූ අතර, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ පැහැරහැරීම් සම්බන්ධයෙන් ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම් පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයද තීන්දු ලබා දී තිබේ. මීට පෙර පැවැති පරීක්ෂණ සහ කොමිෂන් සභා නිර්දේශ මගින් හඳුනාගෙන ඇති පුද්ගලයන්ට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි පවතින්නේ නම් නීතිමය පියවර ගන්නා ලෙසද පියතුමන් ඉල්ලා සිටියේය. ප්‍රහාරයට වගකිව යුතු සියලු දෙනා මෙන්ම ඊට අදාළ පැහැරහැරීම්වලට සම්බන්ධ පාර්ශ්වයන් සම්බන්ධයෙන් නිසි ලෙස විමර්ශනය කර අවසන් වන තෙක් සාධාරණය ඉටුවීමේ ක්‍රියාවලිය සම්පූර්ණ වූවක් ලෙස සැලකිය නොහැකි බවත්, ප්‍රහාරය පිටුපස සිටි අනෙකුත් පුද්ගලයන් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවටත් කතෝලික සභාව නිරන්තරයෙන් අවධාරණය කරයි.