Fifa 2026: France, Spain, England and Argentina in semi-finals today and tomorrow

fifa-2026-france-spain-england-and-argentina-clash-in-semis-today-and-tomorrow

ලෝක කුසලාන පාපන්දු තරගාවලිය මේ වන විට වඩාත් උණුසුම් සහ තීරණාත්මක අවසන් අදියරකට එළඹ තිබේ. මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර මේ වන විට තේරී පත්ව ඇති අතර, සමස්ත ක්‍රීඩා ලෝලීන්ගේම අවධානය දිනාගත් ප්‍රංශය සහ ස්පාඤ්ඤය අතර පළමු අවසන් පූර්ව තරගය අද රාත්‍රියේදී පැවැත්වීමට නියමිතය.

අනෙක් තීරණාත්මක අවසන් පූර්ව තරගය ශ්‍රී ලංකාවේ වේලාවෙන් හෙට බදාදා උදෑසන එංගලන්තය සහ ආර්ජන්ටිනාව අතර පැවැත්වේ.




ලෝක කුසලානයක් අවසන් වටයට පැමිණෙන විට ප්‍රවේශ පත්‍ර මිල ඉහළ යාම සාමාන්‍ය තත්ත්වයක් වුවද, මෙවර තරගාවලියේදී දක්නට ලැබෙන්නේ ඊට හාත්පසින්ම වෙනස් ස්වරූපයකි. අවසන් 16 දෙනාගේ වටයෙන් සත්කාරක ඇමරිකාව සහ පෘතුගාලය ඉවත් වීමත් සමඟ තරගාවලියේ ප්‍රවේශ පත්‍ර මිල සියයට 60කින් පමණ පහත වැටී තිබේ. සත්කාරක රට ඉවත් වීම නිසා ප්‍රේක්ෂකාගාරයේ අඩුවීමක් සිදුවීම ස්වභාවික වුවත්, පෘතුගාලය ඉවත් වීමද මීට දැඩිව බලපෑවේය. වර්තමාන ලෝකයේ විශිෂ්ටතම ක්‍රීඩකයා ලෙස ලියොනල් මෙසී පිළිගැනුණද, ලොව ආකර්ෂණීයම සහ ජනප්‍රියම ක්‍රීඩකයා වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ අවසන් ලෝක කුසලාන 'හංස ගීතය' නැරඹීමට පැමිණි ඔහුගේ දැවැන්ත රසික පිරිස පෘතුගාලයේ නික්මයාමත් සමඟ තරගාවලියෙන් ඈත් වීම මෙම මිල පහත වැටීමට ප්‍රධාන හේතුව වී ඇත.

ප්‍රවේශ පත්‍ර මිල ගණන් ක්ෂේත්‍රයේ මෙවැනි වෙනසක් සිදු වුවද, ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ (FIFA) සමස්ත ආදායම වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ. 2018 වසරේදී ධූරය භාරගත් වර්තමාන ෆීෆා ප්‍රධානී, ස්විස් ජාතික ජියානිගේ සුවිශේෂී සංවිධාන ශක්තිය සහ දැක්ම මීට පූර්ණ වශයෙන් හේතු වී ඇත. 2018 රුසියානු ලෝක කුසලානය අවසන් වන විට ඇමරිකානු ඩොලර් බිලියන 4.2ක් වූ ෆීෆා ආදායම, 2022 කටාර් තරගාවලියෙන් පසු ඩොලර් බිලියන 7.6ක් දක්වා ඉහළ නැංවීමට ඔහු සමත් විය. මෙවර 2026 තරගාවලිය අවසානයේදී ඩොලර් බිලියන 40කට අධික සමස්ත ආදායමක් උත්පාදනය කිරීමට අපේක්ෂිත අතර, ඉන් ෆීෆා ආයතනයට ලැබෙන ශුද්ධ ආදායම ඩොලර් බිලියන 14 ඉක්මවනු ඇත. මෙම ඩොලර් බිලියන 40ක මුදල ශ්‍රී ලංකාවේ සමස්ත අවුරුද්දක දළ දේශීය නිෂ්පාදිතයෙන් අඩකට ආසන්න දැවැන්ත මුදලකි. තරග වදින කණ්ඩායම් සංඛ්‍යාව 32 සිට 48 දක්වා වැඩි කිරීම, ප්‍රවේශ පත්‍ර සහ වෙළඳ දැන්වීම් ප්‍රචාරණ අවස්ථා ඉහළ යාම මෙන්ම දැවැන්ත රූපවාහිනී විකාශන ගිවිසුම් (Big TV Deals) හරහා ජියානි තම ධූර කාලය තුළ ෆීෆා ආදායම තෙගුණ කර ඇත. කෙසේ වෙතත්, ජියානිගේ ක්‍රියාකලාපය පිළිබඳව සැලකිය යුතු විවේචනද එල්ල වේ. විශේෂයෙන් ඔහු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට දැඩිව සමීප වීම සහ තරගාවලියේදී ඇමරිකානු ක්‍රීඩකයෙකුට ලැබුණු රතු කාඩ්පතක් (Red Card) අවසන් 16 දෙනාගේ වටයට පෙර පුනරීක්ෂණය කර ඉවත් කිරීමට සෘජුව මැදිහත් වීම ලෝකයේ දැඩි විවේචනයට ලක් විය. එහෙත් ලෝ පුරා සිටින සාමාජික රටවල් අතර ඔහු බෙහෙවින් ජනප්‍රියය. ඊට හේතුව මෙවර ලැබෙන ආදායමෙන් ඩොලර් මිලියන 872ක් 'ෆීෆා ෆෝවර්ඩ්' (FIFA Forward) වැඩසටහන යටතේ සාමාජික රටවල් 211 හි පාපන්දු අභිවෘද්ධිය සඳහා නැවත ආයෝජනය කිරීමයි. ඒ යටතේ ශ්‍රී ලංකාව සහ කේප් වර්ඩ් වැනි රටවලටද වාර්ෂිකව ඩොලර් මිලියන 8ක් දක්වා මුදලක් හිමි වේ.




මෙවර තරගාවලියේ වාණිජමය ස්වරූපය සනාථ කරමින් කණ්ඩායම් සඳහා පිරිනමන නිල ත්‍යාග මුදල්ද අතිදැවැන්තය. ශූරතාව දිනාගන්නා කණ්ඩායමට ඇමරිකානු ඩොලර් මිලියන 50ක් (ශ්‍රී ලංකා රුපියල් බිලියන 16ක් පමණ) සහ අනුශූරයන්ට ඩොලර් මිලියන 33ක් (රුපියල් බිලියන 11ක් පමණ) හිමි වේ. තෙවන ස්ථානයට ඩොලර් මිලියන 29ක්ද (රුපියල් බිලියනයක් පමණ), සිව්වන ස්ථානයට ඩොලර් මිලියන 27ක්ද හිමි වන අතර, අර්ධ අවසාන පූර්ව වටයෙන් ඉවත් වූ කණ්ඩායම් හතරට මිලියන 19 බැගින් හිමි වේ. අවසන් 16 දෙනාගේ වටයට පැමිණි කණ්ඩායම් අටට මිලියන 15 බැගින්ද, මුල් වටයට සුදුසුකම් ලැබූ රටවල් 48ට මිලියන 9 බැගින්ද දක්ෂතා මත පදනම්ව හිමි වේ. මීට අමතරව, තරගාවලියට සුදුසුකම් ලැබීම වෙනුවෙන්ම සෑම කණ්ඩායමකටම ඩොලර් මිලියන 10ක් සහ සංචාරක පහසුකම් කළමනාකරණය (Logistics) සඳහා තවත් ඩොලර් මිලියන 2.5ක් බැගින් හිමි වේ. ඒ අනුව පළමු වටයෙන් ඉවත් වන රටකට වුවද සමස්තයක් ලෙස ඩොලර් මිලියන 21.5ක මුදලක් හිමි වීම විශේෂත්වයකි.

ක්‍රීඩාව සහ දේශපාලනය අතර ඇති සන්නිවේදනයද මෙවර කැපී පෙනේ. සත්කාරක රටක ප්‍රධානියෙකු ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් වැනි රියලිටි තරු පසුබිමක් ඇති නායකයෙකු මෙවැනි ගෝලීය අවස්ථාවක අවධානය ගැනීමට උත්සාහ කිරීම පුදුමයක් නොවන අතර, මෙවර අවසන් මහා තරගයේ ජය සංකේතය පිරිනැමීමට බලාපොරොත්තු වන්නේද ජනාධිපති ට්‍රම්ප්ය. අතීතයේ බටහිර නායකයන් ක්‍රීඩාව සහ රාජ්‍ය තාන්ත්‍රිකභාවය වෙන්කර තැබුවද, වර්තමානයේ ලෝකය වෙනස් වී ඇත. 1996 ක්‍රිකට් ලෝක කුසලානය ශ්‍රී ලංකාවේ එවකට සිටි අගමැතිනිය අතින්ද, පසුගිය වසරේ ඉන්දීය අගමැති මෝදි අතින්ද කුසලාන පිරිනැමුණේ ඒ අයුරිනි. ප්‍රංශය අවසන් තරගයට ආවහොත් 2018 සහ 2022 වසරවල මෙන්ම එරට ජනාධිපති මැක්‍රෝන් අනිවාර්යයෙන්ම ක්‍රීඩාගාරයේ සිටිනු ඇතත්, බ්‍රිතාන්‍යයේ වත්මන් දේශපාලන තත්ත්වය සහ ජනමතය දුර්වල නිසා එංගලන්තය අවසන් තරගයට ආවද හිටපු අගමැති කීර් ස්ටාමර් හෝ වත්මන් අගමැති ඇන්ඩි බර්නම් සහභාගී වීමේ සම්භාවිතාවක් නැත.



මෙවර අවසන් හතර දෙනාගේ වටයට පැමිණි ප්‍රංශය සහ ස්පාඤ්ඤය යුරෝපීය කණ්ඩායම් වන අතර, එංගලන්තයද යුරෝපය නියෝජනය කරයි. ලතින් ඇමරිකාවෙන් පැමිණෙන එකම කණ්ඩායම ආර්ජන්ටිනාවයි. දකුණු ඇමරිකානු රටවල් 9 අතුරින් බ්‍රසීලය පෘතුගීසි සම්භවයක් සහිත රටක් වන අතර ආර්ජන්ටිනාව, උරුගුවේ, පැරගුවේ, කොලොම්බියාව, බොලිවියාව, ඉක්වදෝරය, පේරු සහ චිලී වැනි රටවල් ස්පාඤ්ඤ ආක්‍රමණ සහ සංක්‍රමණ හේතුවෙන් බිහිවූ රටවල්ය. බ්‍රිතාන්‍යයන් යටත් කරගත් ගයානාව වැනි රටවල ක්‍රිකට් කණ්ඩායම්වල ඇල්වින් කල්චරන්, රොහාන් කන්හායි, ශිවනරීන් චන්ද්‍රපෝල් වැනි ඉන්දීය සම්භවයක් සහිත ක්‍රීඩකයන් සිටින අතර, සුරිනාම් නෙදර්ලන්තයටද, ෆ්‍රෙන්ච් ගිනියා ප්‍රංශයටද යටත් වී තිබුණි. කෙසේ වෙතත්, ආර්ජන්ටිනාවේ ජනගහනයෙන් සියයට 97ක් හෝ 98ක්ම පිරිසිදු ස්පාඤ්ඤ සුදු සම්භවයකින් යුක්ත නිසා ඔවුන්ගේ පාපන්දු හෝ 'පූමාස්' (Pumas) ලෙස හඳුන්වන රග්බි කණ්ඩායම් දුටු විට ලතින් ඇමරිකානු පෙනුමකට වඩා පැරණි යුරෝපීය කණ්ඩායමක ස්වරූපයක් ගනී. වර්තමාන යුරෝපීය කණ්ඩායම් වන ප්‍රංශය සහ එංගලන්තය ඔවුන්ගේ පැරණි යටත් විජිතවලින් පැමිණි ක්‍රීඩකයන්ගෙන් මිශ්‍ර වී තිබුණද, ආර්ජන්ටිනාව තවමත් පැරණි යුරෝපීය ස්වරූපය රකී.

ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්වල (World Rankings) මුල් ස්ථාන හතරේ පසුවන ප්‍රංශය, ස්පාඤ්ඤය, එංගලන්තය සහ ආර්ජන්ටිනාව යන කණ්ඩායම් හතරම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ ඉතිහාසයේ ප්‍රථම අවස්ථාව මෙය වීම සුවිශේෂී වාර්තාවකි. ටෙනිස් ක්‍රීඩාවේ ග්‍රෑන්ඩ් ස්ලෑම් තරගාවලිවල මෙන්ම (ෆෙඩරර්, මරේ, ජොකොවිච්, නඩාල මුල් වටවලදී එකිනෙකා හමු නොවන සේ) ප්‍රබලයන් මුල් වටවලදීම ඉවත් වීම වැළැක්වීමට සහ ප්‍රේක්ෂක ආකර්ෂණය රඳවා ගැනීමට ෆීෆා ආයතනය භාවිත කරන 'සීඩින්' (Seeding) ක්‍රමය නිසා මෙම තත්ත්වය උදා වී ඇත. ප්‍රංශ කණ්ඩායම තරගාවලිය පුරා විශිෂ්ට දස්කම් දැක්වූයේ කිලියන් එම්බාප්පේ ඇතුළු ඓතිහාසික ඉදිරිපෙළ ක්‍රීඩකයන් තිදෙනා නිසාය. අනෙක් කණ්ඩායම් අතිරේක කාලය (Extra Time) ක්‍රීඩා කරමින් මහන්සි වී පැමිණෙන විට, ප්‍රංශය පමණක් සියලු තරග නියමිත කාලය තුළ (Regulation Time) ජයගෙන අවසන් පූර්ව වටයට පිවිසියේය. ඔවුන්ගේ ගෝල වෙනස (Goal Difference) 14ක් වන අතර, ඔවුන් ශූරතාව දිනුවහොත් 1970 සහ 2002 වසරවල බ්‍රසීලයට පසු නියමිත කාලය තුළ පමණක් තරග දිනා ශූරයන් වූ පළමු කණ්ඩායම බවට පත්වනු ඇත.

වර්තමාන ලෝකයේ විශිෂ්ටතම ක්‍රීඩකයා වන කිලියන් එම්බාප්පේ මෙවරත් ගෝල්ඩන් බූට් (Golden Boot) සම්මානය දිනුවහොත් එය දෙවරක් දිනූ ලොව එකම ක්‍රීඩකයා බවට පත් වෙමින් ඔහු ඉතිහාසගත වනු ඇත. දැනට එම්බාප්පේ සහ ලියොනල් මෙසී ගෝල 8 බැගින් ලබා පෙරමුණේ පසුවන අතර, නෝර්වේ හි අර්ලින් හාර්ලන්ඩ් ගෝල 7ක් ලබා තරගාවලියෙන් ඉවත් වී ඇත. බ්‍රිතාන්‍යයේ හැරී කේන් සහ ජූඩ් බෙලින්හැම් ගෝල 6 බැගින් ලබා ඊළඟ ස්ථානවල පසුවේ. ස්පාඤ්ඤ කණ්ඩායමේ ආරක්ෂක පෙළ දුර්වල බවට විචාරකයන් පැවසුවද, ඔවුන්ගේ 19 වයසින් පහළ 'යමාල්' (Yamal) වැනි නවක තරු සහ කණ්ඩායම් හැඟීම නිසා ඔවුන් අවසන් හතරට පැමිණ ඇත. ආර්ජන්ටිනාව සාපේක්ෂව ලෙහෙසි මඟකින් පැමිණියද කේප් වර්ඩ් වැනි රටවල් සමඟ අතිරේක කාලය දක්වා වෙහෙස වී ක්‍රීඩා කිරීම නිසා ඔවුන් තරමක් හති වැටී සිටී. එසේම මෙසී ඇතුළු ක්‍රීඩකයන්ගේ වයසද සාපේක්ෂව වැඩිය. එහෙත් 80 දශකයේ මැරඩෝනාගේ සිට පැවත එන පිටිය මැද නාට්‍යමය (Drama) සහ විචිත්‍රවත් ක්‍රීඩා විලාසය නිසා ආර්ජන්ටිනාවට ලොව පුරා විශාල ප්‍රේක්ෂක ආකර්ෂණයක් හිමිව තිබේ.

මෙක්සිකෝවේ ඓතිහාසික ඇස්ටෙක් (Azteca) ක්‍රීඩාංගනයේදී ප්‍රබල තරග ජයගනිමින් පැමිණි එංගලන්තය, තාරුණ්‍යය සහ ඉහළ ශක්තියක් (Endurance) සහිත, උපායමාර්ගිකව ක්‍රීඩා කරන කණ්ඩායමකි. අවසන් පූර්ව වටයේදී එංගලන්තය සහ ප්‍රංශය ජයගෙන අවසන් මහා තරගයට සුදුසුකම් ලබනු ඇතැයි බොහෝ දුරට පුරෝකථනය කෙරේ. ආර්ජන්ටිනා කණ්ඩායමට එංගලන්තය පරදා ඉදිරියට යාමට තරම් ප්‍රමාණවත් ජවයක් ඉතිරිව ඇතැයි සිතීම අපහසුය. අවසාන වශයෙන්, මෙවැනි තීරණාත්මක තරග ජයග්‍රහණය සඳහා කණ්ඩායමක සමතුලිතතාව (ආරක්ෂාව සහ ගෝල රැස්කිරීම) මෙන්ම, තීරණාත්මක මොහොතේ කැපී පෙනෙන 'තරුවකගේ බලය' (Star Power) අතිශය වැදගත් වේ. පාපන්දු ඉතිහාසයේ පේලේ, මැල්ඩිනී, මැරඩෝනා, මතයස්, රොනාල්ඩෝ සහ මෙසී වැනි ශ්‍රේෂ්ඨ තරු සිටි කණ්ඩායම් සැමවිටම ජයග්‍රහණය කළ අතර, මෙවරද එම්බාප්පේ වැනි ලොව විශිෂ්ටතම තරුවක් සහ හොඳම පද්ධතියක් හිමි ප්‍රංශ කණ්ඩායමට ලෝක ශූරතාව දිනාගැනීමේ වැඩි සම්භාවිතාවක් පවතී.

Post a Comment

Previous Post Next Post