Airbus ගනුදෙනුවේ ඇමෙරිකන් ඩොලර් මිලියන 2 ක් 2015 මහින්දගේ මැතිවරණ ව්‍යාපාරයට වියදම් කරලා

2-million-us-dollars-from-the-airbus-deal-were-spent-on-mahindas-election-campaign-in-2015

ජාතික ගුවන් සේවය නඟාසිටුවීමට ගෙනා ඩොලර් මිලියන ගණනක ගනුදෙනු, අවසානයේ දේශපාලන බල අරගලයක මැතිවරණ ව්‍යාපාරයක් පෝෂණය කිරීමට යොදාගත්තේ ද යන බරපතළ කාරණාව මේ වන විට නීතිය හමුවේ දිගහැරෙමින් තිබේ.




2013 වසරේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගමට නව යානා දහයක් මිලදී ගැනීමේ ක්‍රියාවලිය තුළ, යුරෝපීය ගුවන් යානා නිෂ්පාදන සමාගමකින් ලබාගත්තා යැයි කියන ඇමෙරිකන් ඩොලර් මිලියන දෙකක (යුරෝ 1,454,645.54) අතිවිශාල අල්ලස් මුදල, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ 2015 ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට සෘජුවම යොමු කර ඇති බවට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඊයේ (5) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අනාවරණය කළේය.

මෙම මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන, ඔහුගේ බිරිඳ වන ප්‍රියංගා නියෝමාලි සහ හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ පුත් ශමීන්ද්‍ර රාජපක්ෂ යන අය මේ වන විට සැකකරුවන් ලෙස නම් කරනු ලැබ සිටිති. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවේ කරුණු දක්වමින් කොමිසම පෙන්වා දුන්නේ, අදාළ මැතිවරණ ප්‍රචාරණ කාර්යාලයේ මූලිකත්වය සැකකාර ශමීන්ද්‍ර රාජපක්ෂ විසින් ද, එහි මෙහෙයුම් කටයුතු දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර විලී ගමගේ විසින් ද සිදුකර ඇති බවයි.




බෲනායි රාජ්‍යයේ පිහිටුවූ ව්‍යාජ සමාගමක් හරහා මෙම කළු සල්ලි හුවමාරුවී ඇති ආකාරය පුදුම සහගතය. අල්ලස් කොමිසම අධිකරණයට පැහැදිලි කළ පරිදි, සිංගප්පූරුවේ 'බිස් සොලූෂන්' (Biz Solutions) ආයතනයෙන් ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව හරහා මෙරට ‘ඇගෝ’ නමැති ආයතනයකට අදාළ මුදල් ගලාවිත් තිබේ. පසුව එම මුදල් නේෂන්ස් ට්‍රස්ට් බැංකුව හරහා චෙක්පත් මගින් 'සදිසි මීඩියා ක්‍රියේෂන්' නම් ආයතනයේ හවුල්කරුවකු වන සමරවික්‍රමගේ සමන් සම්පත් නමැත්තා වෙත යොමු කර ඇත. ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී, ශමීන්ද්‍ර රාජපක්ෂගේ මූලිකත්වයෙන් ප්‍රචාරණ කටයුතු සිදුකළ ආකාරයත්, ඒ සඳහා එක් අවස්ථාවකදී රුපියල් මිලියන 9ක චෙක්පතක් ලබාගත් ආකාරයත්, එම මුදල් 2015 මැතිවරණයට වියදම් කළ බවත් තහවුරු වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු අමාත්‍ය පියංකර ජයරත්න සහ විලී ගමගේ යන මහත්වරුන් කොමිසම හමුවට කැඳවා ඇත.

එහෙත් මෙම විමර්ශනය පහසු එකක් වී නැත. වසර හතකට පසුව බැංකු වාර්තා ඉවත් කිරීමේ සාමාන්‍ය පටිපාටිය හේතුවෙන් ප්‍රධාන සැකකාර කපිල චන්ද්‍රසේනගේ එච්.එස්.බී.සී. බැංකු ගිණුම්වල සවිස්තරාත්මක තොරතුරු මේ වනවිට බැංකුව සතුව නොමැති බවත්, ඒ හරහා මුදල් සංසරණය වූ ගමනාන්ත සෙවීම සංකීර්ණ වී ඇති බවත් කොමිසම පවසයි. කෙසේ වෙතත් අදාළ මුල් ලේඛන තමන් භාරයේ සුරක්ෂිතව පවතින බවද ඔවුහු තහවුරු කළහ. ඊටත් වඩා බරපතළ කාරණය වන්නේ, සැකකරුවන් ලෙස නම් කර සිටින ප්‍රියංගා නියෝමාලි සහ ශමීන්ද්‍ර රාජපක්ෂ යන අය මේ වන විටත් නීතිය මඟහරිමින් සිටීමයි. ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසියේ රතු නිවේදන (Red Notices) ලබාගැනීමට කටයුතු කරමින් සිටින බව කොමිසම අධිකරණයට දැනුම් දුන්නේය.



මෙම ආන්දෝලනාත්මක නඩුව කැඳවූ අවස්ථාවේදී, පසුගිය මාර්තු 12 වැනිදා සිට රක්ෂිත බන්ධනාගාරගතව සිටි කපිල චන්ද්‍රසේන මහතා අධිකරණයට ඉදිරිපත් කෙරිණි. සැකකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, ඇප ලබා නොදීමට තරම් සුවිශේෂී කරුණක් පැමිණිල්ල විසින් ඉදිරිපත් කර නැති බව පවසමින් සැකකරුට ඇප නියම කළේය. ඒ අනුව රුපියල් ලක්ෂ 5ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හැරුණු ඔහුට දැඩි විදේශ ගමන් තහනමක් ද පනවනු ලැබීය. විමර්ශනවල මීළඟ ප්‍රගතිය ජූලි 14 වැනිදා අධිකරණයට වාර්තා කරන ලෙස අල්ලස් කොමිසමට වැඩිදුරටත් නියෝග කෙරිණි.

ජාතික සම්පතක් ගොඩගැනීමේ මුවාවෙන් සිදුවූවා යැයි කියන මෙම මහා පරිමාණ ගනුදෙනුවේ අවසන් ප්‍රතිලාභීන් නීතියේ රැහැනින් ගැලවී යනු ඇත්ද, නැතහොත් අතුරුදන් වූ බැංකු වාර්තා අස්සෙන් සත්‍යය මතුපිටට පැමිණෙනු ඇත්ද යන්න ඉදිරි කාලය විසින් තීරණය කරනු ඇත.

Post a Comment

Previous Post Next Post