Horana thief who throws chili powder in faces and snatches chains apprehended

to-the-trumpet-thief-who-throws-chili-powder-in-the-face-and-breaks-necklaces

හොරණ ප්‍රදේශයේ මහමග ගමන් කරමින් සිටි කාන්තාවකට මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කර ඇය පැළඳ සිටි පවුම් තුනහමාරක් බරැති රන් මාලය කොල්ලකෑ සැකකරුවෙකු ප්‍රදේශවාසීන් විසින් අල්ලා පොලිසියට භාර දී තිබේ. ප්‍රදේශවාසීන්ගේ දැඩි පරිශ්‍රමයෙන් අනතුරුව මෙලෙස හොරණ මූලස්ථාන පොලිසිය වෙත භාර දී ඇත්තේ පිළියන්දල ප්‍රදේශයේ පදිංචි හතළිස් සිව් හැවිරිදි පුද්ගලයෙකි.




මෙම මංකොල්ලය සිදු කිරීම සඳහා සැකකරුවන් දෙදෙනෙකු යතුරුපැදියකින් පැමිණ ඇති බව පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී ඇත. ඉන් එක් සැකකරුවෙකු ප්‍රදේශවාසීන්ගේ ග්‍රහණයට නතුවෙද්දී අනෙක් පුද්ගලයා එම ස්ථානයෙන් පලාගොස් ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මේ වනවිටත් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය වී ඇත්තේ මොවුන් දෙදෙනා කලක පටන් මෙම මංකොල්ලකෑම් සිය වෘත්තියක් ලෙසම සිදු කරගෙන ගොස් ඇති බවයි.

තවද, අත්අඩංගුවට පත් සැකකරු සම්බන්ධයෙන් පොලිසිය විසින් සිදුකළ පසුබිම් සොයාබැලීම්වලදී ඔහු දැඩි ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවෙකු බව හෙළි වී ඇත. මීට පෙර අවස්ථාවලදී ද මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම් සහ අලෙවි කිරීම් සම්බන්ධයෙන් මොහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක වී ඇති බව පොලිස් වාර්තා සනාථ කරයි. කොල්ලකෑමට ලක්වූ රන් මාලයේ එක් කොටසක් පමණක් සැකකරු සතුව තිබී පොලිස් භාරයට ගෙන ඇති අතර, මාලයේ අතුරුදන් වූ ඉතිරි කොටස සොයාගැනීම වෙනුවෙන් හොරණ මූලස්ථාන පොලිසිය තවදුරටත් විමර්ශන මෙහෙයවයි.

to-the-trumpet-thief-who-throws-chili-powder-in-the-face-and-breaks-necklaces

Post a Comment

Previous Post Next Post