The person imprisoned for 12 years for molesting a 13-year-old girl was acquitted and released due to 'herpes medical evidence'.

man-who-raped-13-year-old-girl-and-imprisoned-for-12-years-acquitted-due-to-herpes-medical-evidence

බරපතළ ලිංගික අතවර චෝදනාවකට වරදකරු වෙමින් වසර දොළහක බරපතළ වැඩ සහිත සිරදඬුවමකට යටත්ව සිටි පුද්ගලයෙකු ඉන් නිදහස් කිරීමට අභියාචනාධිකරණය තීරණය කර තිබේ. ඇඹිලිපිටිය මහාධිකරණය විසින් ලබා දී තිබූ එම දඬුවම සහ චෝදනා සම්පූර්ණයෙන්ම අවලංගු කිරීමට විනිසුරු මඬුල්ල පියවර ගත්තේ නඩුවට අදාළව ඉදිරිපත් වී තිබූ තීරණාත්මක වෛද්‍ය වාර්තාවක් සහ සාක්ෂිවල පරස්පරතා මතුවීම හේතුවෙනි.




මෙම නඩුවට පාදක වී තිබුණේ දහතුන් හැවිරිදි දැරියකට සිදු වූ බව කියන බරපතළ ලිංගික අතවරයකි. තමාට චූදිතයාගෙන් හර්පීස් සිම්ප්ලෙක්ස් (Herpes Simplex) කාණ්ඩයේ ලිංගික රෝගය වැළඳුණු බවට අගතියට පත් දැරිය එහිදී ප්‍රකාශ කර තිබුණි. පැමිණිලි පාර්ශවය ද අධිකරණය හමුවේ සිය නඩුව මෙහෙයවා තිබුණේ එම වෛද්‍ය තොරතුරු මත පදනම්වය.

එහෙත් චූදිතයාගේ ඉරණම වෙනස් වූයේ ඔහු සම්බන්ධයෙන් සිදු කළ විශේෂඥ වෛද්‍ය පරීක්ෂණයක ප්‍රතිඵල හරහාය. විශේෂඥ ලිංගාශ්‍රිත රෝග වෛද්‍යවරයකු විසින් චූදිතයා පරීක්ෂාවට ලක් කර නිකුත් කළ වෛද්‍ය වාර්තාවලට අනුව, පරීක්ෂණය පවත්වන අවස්ථාවේදී ඔහු තුළ කිසිදු ලිංගාශ්‍රිත රෝග ලක්ෂණයක් නොතිබූ බවට පැහැදිලිවම තහවුරු වී තිබුණි.




අමල් රණරාජා සහ ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර යන අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මෙම අභියාචනා පෙත්සම විභාගයට ගැනිණි. එහිදී අදහස් දැක්වූ විනිසුරු ආචාර්ය ප්‍රේමචන්ද්‍ර මහතා පෙන්වා දුන්නේ, මුල් නඩු විභාගයේදී විනිසුරුවරයා විසින් චූදිතයාට පක්ෂපාතී වූ මෙම අතිශය වැදගත් වෛද්‍ය වාර්තාව නොසලකා හැරීම මගින් කරුණු සම්බන්ධයෙන් වරදවා වටහා ගැනීමක් සිදුව ඇති බවයි.

වෛද්‍ය වාර්තාව මගින් මතු කළ කරුණුවලට අමතරව, අගතියට පත් දැරිය මුලින් ලබා දුන් ප්‍රකාශ සහ පසුව අධිකරණය හමුවේ ලබා දුන් සාක්ෂි අතර තිබූ පරස්පරතාවලිය ද විනිසුරු මඬුල්ලේ දැඩි නිරීක්ෂණයට ලක් විය. ඒ අනුව, ඉදිරිපත් වූ වෛද්‍ය වාර්තා සහ නඩුවේ සසුන්ගත කරුණු මගින් චූදිතයාගේ වරදකාරිත්වය පිළිබඳව සාධාරණ සැකයක් මතු වන බව තීරණය කළ අභියාචනාධිකරණය, ඔහුට පනවා තිබූ සියලු චෝදනා සහ සිරදඬුවම් අවලංගු කරමින් නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කළේය.

Post a Comment

Previous Post Next Post