
අඩි 34,000ක උසකදී පිහියක් අතැති ප්‍රහාරකයකු සමඟ ඇති වූ ලේ වගුරුවන ගැටුමකින් පසු ෆ්ලයි ඩුබායි යානයේ මගීන් පිරිසක් සහ බරපතළ තුවාල ලැබූ නියමුවකු දැවැන්ත ත්‍රස්ත ප්‍රහාරයක් වළක්වා ගත්හ. ධෛර්යවන්ත ප්‍රධාන නියමුවාට සහාය නියමුවා පිහියෙන් ඇන තිබිණි.
එහෙත් ඔහු ගුවන් යානාවේ නියමු කුටියේ දොර විවෘත කර උදව් ඉල්ලා කෑගැසීමට සමත් විය. ඉන්පසු මගීන් නියමු කුටියට කඩා වැදී ප්‍රහාරකයාව මැඩපැවැත්වූහ.ඩුබායි සිට ටෙල් අවිව් බලා පියාසර කළ ෆ්ලයිඩුබායි FZ1073 දරණ ගුවන් යානයේ මෙම අසාමාන්‍ය ගැටුමෙන් යානය සෞදි කාන්තාරය දෙසට වේගයෙන් ඇදී ගියේය.
සහාය නියමුවා යානයේ පාලනය අත්පත් කරගෙන ඊශ්‍රයාලයේ ඉලක්කයක් වෙත, සමහරවිට අහස උස ගොඩනැගිල්ලක් වෙත කඩා වැටීමට සැලසුම් කළ බවට ඊශ්‍රයාලය විශ්වාස කරයි.
මගීන් සහ කාර්ය මණ්ඩලය පිහි අතැති පුද්ගලයාව බිමට පෙරළා මැඩපැවැත්වූ අතර, ඉන්පසු මගියකු ඉදිරියට පැමිණ ෆ්ලයිඩුබායි යානය යළි අහසට එසවීමට සමත් විය.
යානයේ සිටි රාජකාරියෙන් බැහැර නියමුවන් පසුව යානයේ පාලනය භාරගත් බවට වාර්තා විය. ඔවුන්ගෙන් අයකු බ්‍රිතාන්‍ය ජාතිකයකු බව කියැවේ.
සංසරණය වූ වීඩියෝ දර්ශනවල තුවාල ලැබූ අවම වශයෙන් එක් පුද්ගලයකුත්, ලේ තැවරුණු අනෙක් අයත්, පසුබිමින් කෑගසන අයත්, විවෘත වූ උඩු ලොකරත් දක්නට ලැබිණි.
ඊශ්‍රයාල අගමැති බෙන්ජමින් නෙතන්යාහු තුවාල ලැබූ නියමුවාට ප්‍රශංසා කළේය. ඉන්දීය ජාතික ස්මිත් මච්චාර් ලෙස නම් කළ නියමුවා ගැන ඔහු කීවේ, පිහියෙන් ඇන බරපතළ තුවාල ලැබුවද ඔහු සටන් කර, විරෝධය පා, නියමු කුටියේ දොර විවෘත කර, මගීන්ට සහ කාර්ය මණ්ඩලයට ප්‍රහාරකයාව මැඩපැවැත්වීමට ඉඩ සලසා, අහසේදී සිදුවීමට ගිය විනාශකාරී අනතුර වළක්වා ගත් බවයි.
ඊශ්‍රයාල පුරවැසියන් සහ අනෙක් ජාතිකයන් ඇතුළු 174 දෙනකුගේ ජීවිත ඔහු බේරා ගත් බව නෙතන්යාහු පැවසීය.
බෝයිං 737 යානය පසුව සෞදි අරාබියේ හදිසි ගොඩබැස්සවීමක් සිදු කළ අතර, මගීන් ටෙල් අවිව් බලා ගිය වෙනත් යානයකට මාරු කරන ලදී. පසුව වාර්තා වූයේ යානය සෞදි අරාබියේ වයඹ දිග ටබුක් ගුවන්තොටුපොළට ගොඩබස්වා ඇති බවයි.
ඊශ්‍රයාල ආරක්ෂක ආරංචි මාර්ගයක් කීවේ, සහාය නියමුවා නියමුවාව මරා යානය ඊශ්‍රයාලය තුළට, බොහෝ දුරට ඊශ්‍රයාල ජාතිකයන් වන මගීන් සමඟ කඩා වැටීමේ 9/11 ආකාරයේ සැලැස්මක් විය හැකි බවයි.
සහාය නියමුවා සෞදි අරාබියේදී අත්අඩංගුවට ගනු ලැබූ නමුත්, ඔහුගේ අනන්‍යතාව, අදහස සහ චේතනාව තහවුරු වී නැත.
නෙතන්යාහු මෙම සිද්ධිය ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස නම් කිරීමෙන් වැළකී සිටි අතර, එය යානයේ සිටි සියලු දෙනා සමඟ යානය කඩා වැටීමට නියමුවා දැරූ පැහැදිලි උත්සාහයක් ලෙස හැඳින්වීය.
අපේක්ෂිත ඉලක්කය කුමක්දැයි නිලධාරීන්ට පැහැදිලි නැතත්, ටෙල් අවිව්හි කුළුණු ගොඩනැගිල්ලක් විය හැකි බවට ආරංචි මාර්ග කිහිපයක් පෙන්වා දෙයි.
ඊශ්‍රයාල සහ ඊශ්‍රයාල නොවන ගුවන් සමාගම් දෙකටම ආරක්ෂාව දැඩි කරන ලෙස උපදෙස් දී තිබේ.
දේශීය වේලාවෙන් උදෑසන 7ට මඳක් පසු ඩුබායිවලින් පිටත් වූ යානයේ පැය දෙකකට පසු මෙම නාටකය සිදු විය. මගීන් කිහිප දෙනකුට නියමු කුටියෙන් එන උස් හඬක් ඇසුණි.
ඒ වන තෙක් අසල්වැසියන් ගැන එතරම් සැලකිල්ලක් නොදැක්වූ, බොහෝ දුරට ව්‍යාපාරික ඇඳුමින් සැරසුණු මගීන්, හිස් නොකළ උදෑසන ආහාර තැටි මතින් එකිනෙකා දෙස බැලීමට පටන් ගත්හ.
ඉන්පසු යානය පාලනයෙන් ගිලිහී සෞදි අරාබි කාන්තාරය දෙසට වේගයෙන් ඇදී ගියේය. ගුවන් දත්තවලට අනුව තත්පර 30කදී අඩි 14,000ක් පහළට වැටී තිබිණි.
නියමු කුටියේ අගුලු දැමූ දොර පිටුපස නියමුවා සහ සහාය නියමුවා පොරබදමින් සිටියහ. දෙවැන්නා පළමුවැන්නාට පිහියෙන් ඇන තිබිණි.
සහාය නියමුවාගේ චේතනාව ගැන තවමත් ව්‍යාකූලත්වයක් පවතින නමුත්, ගුවන් ගමනාගමන පාලනය අපේක්ෂා කළ පරිදි උදෑසන 9.05ට ටෙල් අවිව්හි බෙන් ගුරියන් ගුවන්තොටුපොළට යානය ගොඩබැස්සවීමට ඔහුට අදහසක් නොතිබූ බව පෙනේ.
සාමාන්‍ය හදිසි තත්ත්වයක් අදහස් කරන ‘7700’ සංකේතය ගුවන් ගමනාගමන පාලනයට ලැබීමෙන් පිටස්තර ලෝකය මුලින්ම යමක් වැරදී ඇති බව දැනගත්තේය. ඉන් විනාඩි අටකට පසු ‘7500’ සංකේතය ලැබිණි. එය නීතිවිරෝධී මැදිහත්වීමක් හෝ පැහැරගැනීමක් අදහස් කරයි.
ඉන්පසු නාටකය දිගහැරුණු ආකාරය තවමත් අවිනිශ්චිතය. නියමු කුටියේ දොර සාමාන්‍යයෙන් තදින් අගුලු දමා ශක්තිමත් කර ඇති බව ගුවන් විශේෂඥයෝ පැවසූහ. එහෙත් නියමුවන්ට තම අසුනේ සිට දොර අගුළු හැරිය හැකි බවද කියැවේ. නියමුවා නියමු කුටියේ දොර විවෘත කළ බව නෙතන්යාහු පසුව තහවුරු කළ අතර, ඔහු සැබෑ වීරයකු බවද කීය.
ප්‍රහාරකයාව මැඩපැවැත්වීමට උදව් කළ මගියකු වූ යිට්ෂාක් ලීබර් යානයේ සිටියදීම තම දරුවන්ට වීඩියෝවක් යැවූ අතර, එහි ඔහු කීවේ බරපතළ තුවාල ලැබූ නියමුවකු සිටින බවත්, ඔහුව ඉවත් කර ඇති බවත්, ත්‍රස්තවාදියාව මැඩපවත්වා බැඳ දමා ඇති බවත්ය.
පසුව සමාජ මාධ්‍යයේ පළ කළ දර්ශනයේ ඔහු කීවේ එය ඉතා දුෂ්කර සිද්ධියක් බවත්, පැය කිහිපයකින් ගෙදර යා හැකි බවත්, ඇඳුම් මාරු කළ යුතු බවත්, සියල්ල ලේවලින් පිරී ඇති බවත්, ඔවුන් ඔහුව අල්ලාගත් බවත්ය.
තවත් මගියකු වූ දන්ත වෛද්‍ය ෂෝටා මුසේ කීවේ අහසේදීම තුවාල ලැබූ නියමුවාට ප්‍රතිකාර කළ බවත්, ඔහුගේ හිසට බරපතළ තුවාල සහ ඇඟිලිවල කැපුම් තිබූ බවත්ය. ප්‍රහාරයෙන් පසු නියමු කුටියට ළඟා වූ පළමු මගීන්ගෙන් අයකු තමන් බවත්, නියමුවා බිමට විසි වී සිටි බවත් ඔහු කීය.
නෙතන්යාහු සමඟ පැවති හමුවකදී යනිව් හයුන් නම් මගියා ප්‍රහාරකයාව මැඩපවත්වා පසුව යානයේ පාලන මිටි තමන් දෙසට ඇදගත් බව විස්තර කළේය. “ඔබ ඒවා ඇද්දාද?” යැයි නෙතන්යාහු ඇසූ විට හයුන් පිළිතුරු දුන්නේ, “ඔව්, මම එයාර් ක්‍රෑෂ් ඉන්වෙස්ටිගේෂන් බලනවා,” කියාය.
අනෙක් මගීන් භීතියේ සහ ව්‍යාකූලත්වයේ දර්ශන විස්තර කළහ. මව්වරු දරුවන් බදාගෙන සිටියහ. උඩු ලොකර විවෘත විය. “යානය චලනය වීමට පටන් ගත් පසු ඔබ පහළට ඇදී ගියා,” යැයි එක් අයෙක් කීය. ඇය තම සහකරු සහ දියණියන් දෙදෙනා සමඟ පියාසර කරමින් සිටියාය. “මම ඔවුන්ව වැළඳගෙන ආදරෙයි කියා කීවා,” ඇය කීය.
යස්මින් අබුකාසිස් කීවේ යානයේ සිටි තම දියණිය තමන්ට කී බවත්, පිහියක් අතැති පුද්ගලයකු නියමුවන්ගෙන් අයකු බිමට පෙරළා ඇති බවත්, සෑම තැනම ලේ තිබූ බවත්ය.
හිලා ගයිර් කීවේ නියමුවකු උදව් ඉල්ලා කෑගසන හඬ යානයේ ඇසුණු බවත්, තවත් නියමුවන් දෙදෙනකු යානයේ පාලනය භාරගත් බවත්ය. “එය පිස්සුවක්, සතුටුදායක අවසානයක් සහිත 9/11 වගේ,” ඇය කීය.
ටබුක් ගුවන්තොටුපොළට යානය ගොඩබස්වන තෙක් බියට පත් මගීන් තමන් ජීවත්ව පලා යා හැකි බව විශ්වාස කිරීමට පවා බිය වූහ.
මගියකු වූ ස්විකා මෙනෙස් කීවේ නියමු කුටියෙන් පැමිණි අමතර කාර්ය මණ්ඩල සාමාජිකයකු ද නියමුවකු බවත්, ඔවුන් පිහි ඇනුම් ලැබූ නියමුවාව දුටු බවත්ය. “අපි තුන් දෙනෙක් ඔහු මතට පැන්නා, තදින් පැනලා, ඔහුගේම සිප් බැඳුම්වලින් සහ මල්ටිමීඩියා හෙඩ්ෆෝන්වලින් ඔහුව බැන්දා. අපි ඔහුව නිශ්ක්‍රීය කළේ ඒ විදියටයි,” ඔහු කීය.
ගොඩබැස්සවීමෙන් පසු මගීන් වෛද්‍ය පරීක්ෂාවට ලක් කරන ලදී. සෞඛ්‍ය සේවක ආරියේ මේයර්ස් කීවේ කිහිප දෙනකුට සුළු තුවාල තිබූ බවත්, මේ දක්වා රෝහල් ප්‍රතිකාර අවශ්‍ය වූයේ එක් අයකුට පමණක් බවත්ය. ඔහු යානයේ ගැටුමේදී තුවාල ලබා මැණික් කටුවට හානි වී තිබිණි.
සියලු මගීන් තනිවම යානයෙන් බැස ගියහ. කිහිප දෙනකුට වෙළුම් දමා තිබිණි. බොහෝ දෙනෙක් සංවේදී වී සිටියහ. “අවසානයේ ගොඩබැස්සවීම ගැන සහනයක් දැනුණා,” එක් අයෙක් කීය.
නෙතන්යාහු පසුව බෙන් ගුරියන් පර්යන්ත 1 ඇතුළත රැඳී සිට ටබුක් සිට ආදේශක යානයෙන් පැමිණි මගීන් පිළිගත්තේය.
ප්‍රහාරය වළක්වා ගැනීමට උදව් කළ බව නෙතන්යාහු කී මගියා ඔහු හමු විය. අගමැතිවරයාගේ නිල සමාජ මාධ්‍ය නාලිකාවල පළ කළ වීඩියෝවක ඔහු ලේ තැවරුණු මගියාට කීවේ ඔහු විශිෂ්ට වීරයකු බවයි. “මට පේන්නේ සිංහයෙක්, විශිෂ්ට වීරයෙක්,” යැයි මිනිසා වැළඳගත් පසු නෙතන්යාහු කීය. ඉන්පසු ඔහු මිනිසාගේ සුදු කමිසයේ ලේ පැල්ලම් පෙන්වා, “ඒ ඔහුගේද?” යැයි ඇසීය. “ඔව්. අවාසනාවට අපට ඔහුව මරා දැමීමට නොහැකි වුණා, නමුත් ඔහුට සුව වීමට කාලයක් ගත වේවි,” යැයි හයුන් පිළිතුරු දුන්නේය.
“ඔබ බේරා ගත්තේ යානයේ සිටි මගීන් පමණක් නොවේ. එයින් කුමක් සිදුවීමට තිබුණාදැයි ඔබ දන්නේ නැහැ. අපි දන්නේ නැහැ,” යැයි නෙතන්යාහු එවිට කීය. එක්සත් අරාබි එමීර් රාජ්‍යය මූලික කරගත් ෆ්ලයිඩුබායි ගුවන් සමාගම කීවේ නියමු කුටියේ ගැටුමට හේතු තවමත් නොදන්නා බවත්, බලධාරීන් කරුණු රැස් කරන අතරතුර නොමේරූ අනුමානවලින් වැළකී සිටින ලෙස සියලු පාර්ශ්වවලින් ඉල්ලා සිටින බවත්ය.
සිදුවීම ගැන මගීන් කළ විස්තර වීඩියෝව පහතින්