ශ්රී ලංකාව මේ වන විට තීරණාත්මක ආර්ථික සන්ධිස්ථානයකට පැමිණ තිබේ. අඛණ්ඩව කාර්තු එකොළහක් පුරා ධනාත්මක ආර්ථික වර්ධනයක් වාර්තා කරමින්, ආර්ථික අර්බුද සමයේ සිට මේ දක්වා රාජ්ය ආදායම් අනුපාතය දෙගුණ කර ගැනීමට රට සමත්ව ඇත.
ණය ප්රතිව්යුහගත කිරීමේ ක්රියාවලිය ද අවසන් වීමට ඉතාමත් ආසන්නය. එහෙත්, මෙම ප්රකෘතිමත් වීමේ ගමනට විශාල ශක්තියක් වූ ජාත්යන්තර මූල්ය අරමුදලේ වත්මන් වැඩසටහන එළැඹෙන මාර්තු මාසයෙන් අවසන් වීමට නියමිතය.ඉන් පසුව එළැඹෙන කාල සීමාව තුළ තවත් මූල්ය අරමුදල් වැඩසටහනකට යොමු වන්නේද නැද්ද යන්න තීරණය කිරීමේ සම්පූර්ණ අයිතිය ඇත්තේ ශ්රී ලංකා බලධාරීන්ට බව ජාත්යන්තර මූල්ය අරමුදල අවධාරණය කරයි. ජාත්යන්තර මූල්ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ නියෝජ්ය අධ්යක්ෂිකා සොනාලි ජේන්-චන්ද්රා මහත්මිය ඊයේ පැවැති මාධ්ය හමුවකදී මේ බව තහවුරු කළාය.
ඇය පෙන්වා දුන්නේ මාර්තු මාසයෙන් පසුව වුවද ශ්රී ලංකාවට සහාය වීම සඳහා ක්රම කිහිපයක්ම මූල්ය අරමුදල සතුව පවතින බවයි. ශ්රී ලංකාව ඉල්ලා සිටින්නේ නම් නව අරමුදල් වැඩසටහනක් හරහා හෝ, එසේ නැතිනම් ප්රතිපත්තිමය උපදේශනය, අධීක්ෂණය සහ ධාරිතා සංවර්ධනය යන ක්රම ඔස්සේ අඛණ්ඩව සහාය ලබා දීමට ඔවුන් සූදානම්ව සිටී. ඉදිරියේදී මේ සම්බන්ධයෙන් ශ්රී ලංකාව සමග සාකච්ඡා කිරීමට නියමිත බවත්, ශ්රී ලංකාවට අවශ්ය සහ සුදුසු ආකාරයෙන් සහාය වීමට ජාත්යන්තර මූල්ය අරමුදල කැපවී සිටින බවත් ඇය එහිදී ප්රකාශ කළාය.
මේ දක්වා ශ්රී ලංකාව ලබා ඇති ප්රගතිය පිළිබඳව අදහස් දක්වමින් නියෝජ්ය අධ්යක්ෂිකාව සඳහන් කළේ අනෙකුත් රටවලට සාපේක්ෂව ශ්රී ලංකාව ශක්තිමත් ප්රගතියක් අත්කරගෙන ඇති බවයි. විශේෂයෙන්ම සාර්ව ආර්ථිකය සැලකිය යුතු මට්ටමකින් ශක්තිමත් වී ඇති අතර, රාජ්ය පාලනය ඇතුළු වැදගත් ව්යුහාත්මක ප්රතිසංස්කරණ රැසක් මේ වන විටත් ක්රියාත්මක කර තිබේ. කෙසේ වෙතත්, වත්මන් අරමුදල් වැඩසටහන යටතේ තවත් සැලකිය යුතු වැඩ කොටසක් සහ සමාලෝචන දෙකක් ඉතිරිව පවතී. හත්වැනි සමාලෝචනය සම්බන්ධයෙන් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට මෙම මස මුලදී එළැඹි අතර, ඉදිරි සති කිහිපය තුළ ජාත්යන්තර මූල්ය අරමුදලේ විධායක කමිටුව විසින් එය සලකා බැලීමට නියමිතය. ඉන් අනතුරුව, වැඩසටහන අවසන් වීමට පෙර තවත් එක් සමාලෝචනයක් සිදු කෙරෙනු ඇත. මේ සියල්ල හමුවේ සාර්ව ආර්ථික ස්ථාවරත්වය කෙරෙහි අඛණ්ඩව වැඩි අවධානයක් යොමු කිරීමේ වැදගත්කම ජේන්-චන්ද්රා මහත්මිය අවධාරණය කළාය.
ශ්රී ලංකාව සිය අභ්යන්තර ආර්ථික අභියෝග ජය ගනිමින් සිටින අතරතුර, සමස්ත ආසියානු කලාපයම බාහිර කම්පනයන්ට මුහුණ දෙමින් සිටින බව එම මාධ්ය හමුවට එක්වූ ජාත්යන්තර මූල්ය අරමුදලේ ආසියා සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ක්රිෂ්ණා ශ්රීනිවාසන් මහතා පෙන්වා දුන්නේය. පසුගිය මාසයේ ආරම්භ වූ ගෝලීය බලශක්ති කම්පනය සහ මැදපෙරදිග අර්බුදය, ඉන්ධන සහ ගෑස් ආනයනය සඳහා මැදපෙරදිග කලාපය මත දැඩි ලෙස යැපෙන ආසියානු ආර්ථිකයට ප්රබල බලපෑමක් එල්ල කර තිබේ.
එහෙත්, මෙම කම්පන හමුවේ පවා ආසියානු කලාපය බලාපොරොත්තු වූවාට වඩා ඉහළ ඔරොත්තු දීමේ හැකියාවක් ප්රදර්ශනය කර ඇත. ඉල්ලුම පාලනය කිරීම සහ ඉහළ යන ඉන්ධන ආනයන වියදම් පාලනය සඳහා මූල්ය ක්රියාමාර්ග ගැනීම ඊට හේතු වී තිබේ. මෙම ගෝලීය අභියෝග මධ්යයේ වුවද, සමස්ත ගෝලීය ආර්ථික වර්ධනයෙන් තුනෙන් දෙකකටත් වඩා වැඩි ප්රමාණයක්, එනම් සියයට 68ක්ම සපයනු ලබන්නේ ආසියානු කලාපය විසිනි. මෙම වසර අවසානයේදී ආසියාවේ ආර්ථිකය සියයට 4.8 ක වර්ධනයක් අත්පත් කරගනු ඇතැයි අපේක්ෂා කළද, ආර්ථිකය පහළ යාමේ පැහැදිලි අවදානමක් පවතින බව ශ්රීනිවාසන් මහතා අනතුරු ඇඟවීය. විශේෂයෙන්ම මැදපෙරදිග අර්බුදය තවදුරටත් දැඩි වීම හෝ දීර්ඝ කාලයක් පුරා පැවතීම සහ එල් නිනෝ දේශගුණික සංසිද්ධිය මෙම අවදානම් තත්ත්වයන්ට ප්රධාන හේතු වේ.
බලශක්ති අර්බුදයේ සෘජු ප්රතිඵලයක් ලෙස කෙටිකාලීනව උද්ධමනය ඉහළ යා හැකි බවට අපේක්ෂා කෙරෙන අතර, මැදිකාලීනව එය ස්ථාවර වනු ඇතැයි විශ්වාස කළද අවදානම පහව ගොස් නැත. මෙවැනි තත්ත්වයක් හමුවේ මිල ස්ථාවරත්වය ඉලක්ක කර ගනිමින් ප්රතිපත්ති පොලී අනුපාත ක්රියාත්මක කිරීමේ වැදගත්කම ජාත්යන්තර මූල්ය අරමුදල පෙන්වා දෙයි. අපේක්ෂිත ආර්ථික ඉලක්ක ස්ථාවර නොවන අවස්ථාවන්හිදී ප්රතිපත්ති පොලී අනුපාත දැඩි කිරීමට මහ බැංකු සූදානම්ව සිටිය යුතු බවත්, එහිදී මහ බැංකුවේ ස්වාධීනත්වය සැමවිටම ආරක්ෂා කළ යුතු බවත් ශ්රීනිවාසන් මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.