රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ‘ත්රස්තවාදයෙන් රාජ්ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත’ සම්පූර්ණයෙන්ම ආණ්ඩුක්රම ව්යවස්ථාවට අනුකූල බවත්, එය පුරවැසි අයිතිවාසිකම් සුරැකෙන පරිදි අතිශය විනිවිදභාවයකින් යුතුව සකස් කර ඇති බවත් නීතිපතිවරයා ඊයේ ශ්රේෂ්ඨාධිකරණය හමුවේ අවධාරණය කළේය.
මෙම යෝජිත පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් ඊයේ දෙවැනි දිනයටත් විභාගයට ගත් අවස්ථාවේදී, නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නිරින් පුල්ලේ මහතා මේ බව අධිකරණයට දැනුම් දුන්නේය. අගවිනිසුරු ප්රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්රිපුද්ගල ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම් විභාගය ක්රියාත්මක වේ.
ඊයේ පෙරවරුවේ ආරම්භ වූ නඩු කටයුත්තෙහි පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරුන්ගේ කරුණු දැක්වීම් සවස වන විට අවසන් වූ අතර, ඉන් අනතුරුව අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා සිය දේශනය ආරම්භ කළේය. ජාතික ආරක්ෂාව සහ මානව හිමිකම් යනු එකම කාසියක දෙපැත්තක් බව එහිදී පෙන්වා දුන් ඔහු, මෙම නව පනත් කෙටුම්පත දේශීය අවශ්යතාවන් මෙන්ම ජාත්යන්තර නිර්ණායක හා මූලධර්ම පදනම් කරගනිමින් මානව හිමිකම්වලට හිතවාදී ලෙස සකස් කර ඇති බව ප්රකාශ කළේය.
විශේෂයෙන්ම ජනතාව ආරක්ෂා කිරීම රාජ්යයේ මූලික වගකීමක් බව පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරය සම්බන්ධයෙන් සොයා බැලූ පරීක්ෂණ කමිටුව පවා නිර්දේශ කර ඇති බව සිහිපත් කළ නිරින් පුල්ලේ මහතා, පාස්කු ප්රහාරයට අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කළ සත් පුද්ගල ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ලබාදුන් තීන්දුව තුළ ද එම වගකීම පැහැදිලිවම සටහන් කර ඇති බව අධිකරණයේ අවධානයට යොමු කළේය.
යෝජිත පනත් කෙටුම්පත සම්බන්ධයෙන් කිසිදු මහජන අදහස් විමසීමක් සිදු නොවූ බවට නැගෙන චෝදනා සම්පූර්ණයෙන්ම ප්රතික්ෂේප කළ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා, එය ගැසට් පත්රයේ පළ කිරීමට පෙර 2025 වසරේ දෙසැම්බර් මස පුවත්පත්වල සහ අධිකරණ අමාත්යාංශ වෙබ් අඩවියේ පළ කරමින් විධිමත් පටිපාටියකට අනුව කටයුතු කර ඇති බව තහවුරු කළේය.
පසුගිය කාලයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ ප්රති ත්රස්ත පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති සාමාන්ය බහුතර ඡන්දයකින් සම්මත කළ හැකි බවට ශ්රේෂ්ඨාධිකරණය මීට පෙර නිගමනය කර තිබූ බවත්, වත්මන් පනත් කෙටුම්පතේ අන්තර්ගතය ද එම වගන්තිවලට බෙහෙවින් සමාන බවත් ඔහු වැඩිදුරටත් කරුණු දක්වමින් කියා සිටියේය.
අදාළ පනත් කෙටුම්පතට එරෙහිව ඉදිරිපත් වී ඇති පෙත්සම් විභාගය තවදුරටත් පැවැත්වේ.