බොඩි කැම් ටෙන්ඩරය නිවැරදියි - කිසිවෙකු මුදලිගේව නොමග යවලා - පොලිසිය දන්වයි

body-cam-tender-is-correct---no-one-misled-mudalige---police-inform

ශ්‍රී ලංකා පොලිසිය සඳහා ශරීර පැළඳි කැමරා (Body worn cameras) ලබාගැනීමේ ටෙන්ඩර් පටිපාටිය තුළ දූෂණ සිදුව ඇති බවට එල්ල වී ඇති චෝදනා පොලිස් මූලස්ථානය විසින් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර තිබේ. ජන අරගල ව්‍යාපාරයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා විසින් මෑතකදී සිදුකළ එම ප්‍රකාශ කිසිදු පදනමක් නොමැති, සත්‍යයෙන් තොර කරුණු බව පොලිසිය අවධාරණය කරයි.




මෙම චෝදනා සම්බන්ධයෙන් මාධ්‍ය මගින් අදහස් පළවීමෙන් පසු, පොලිස් සැපයුම් අංශය භාර අධ්‍යක්ෂවරයාගෙන් අදාළ ටෙන්ඩරය පිළිබඳව විශේෂ වාර්තාවක් කැඳවා ඇත. පොලිස්පතිවරයාගේ මැදිහත්වීමෙන් පත්කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු, ගණකාධිකාරීවරයකු ඇතුළු ගැසට් කළ නිලධාරීන් පහළොස් දෙනෙකුගෙන් සමන්විත විශේෂ කමිටුවක ඒකමතික තීරණයකට අනුව, වත්මන් පොලිස් රාජකාරි අවශ්‍යතා වෙනුවෙන් කැමරා පන්සියයක් සහ ඊට අදාළ ඩොකින් ස්ටේෂන් (Docking stations) හැත්තෑවක් මිලදී ගැනීමට නිර්දේශ වී ඇති බව එම වාර්තාවේ දැක්වේ.

මෙම සමස්ත ප්‍රසම්පාදන ක්‍රියාවලිය රජයේ නිල මාර්ගෝපදේශ, ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ නියෝග මෙන්ම සම්මත නීතිමය රාමුන්ට යටත්ව අතිශය විනිවිදභාවයකින් සහ සාධාරණ තරගකාරීත්වයකින් යුතුව සිදුකරන බවට පොලිසිය සහතික වෙයි. අදාළ උපකරණ සෘජුවම මිලදී ගැනීම මෙන්ම බදු පදනම යටතේ ලබාගැනීම යන විකල්ප ද්විත්වයම කෙරෙහි ලංසු ඇගයීම් කමිටුවේ දැඩි අවධානය යොමුව ඇති අතර, තාක්ෂණික පිරිවිතරයන් සහ කොන්දේසි සකස් කර ඇත්තේ ඉන් අනතුරුවය.




වැඩි තරගකරුවන් පිරිසකට මෙම ටෙන්ඩරය සඳහා ඉදිරිපත් වීමට අවස්ථාව සලසා දෙමින් පුවත්පත් දැන්වීම් මගින් ප්‍රසිද්ධියක් ලබා දී තිබේ. කිසිදු පාර්ශ්වයකට අනිසි වාසියක් අත්කර දීමේ අරමුණින් තොරව, ඊට සහභාගි වන සියලුම ආයතන වෙත ලිඛිතව දැනුම් දීමෙන් පසු ලංසු භාරගැනීමේ අවසන් දිනය අවස්ථා කිහිපයකදීම දීර්ඝ කිරීමට පියවර ගත් බවද පොලිසිය පෙන්වා දෙයි.

ටෙන්ඩර් පටිපාටියට අදාළ ඇගයීම් කටයුතු මේ වනවිටත් ක්‍රියාත්මක මට්ටමේ පවතින හෙයින් මෙතෙක් කිසිදු ආයතනයක් තෝරාගෙන හෝ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කර නොමැත. යම් පාර්ශ්වයකට මෙම ක්‍රියාවලියේ නිරවද්‍යතාව සම්බන්ධයෙන් ගැටලුවක් පවතින්නේ නම්, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත ගොස් ඒ සම්බන්ධයෙන් නිල වශයෙන් පැමිණිලි කිරීමට හැකියාව ඇති බව පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී.



Post a Comment

Previous Post Next Post