Sri Lankan businessman arrested in Malaysia for labor exploitation

sri-lankan-businessman-arrested-in-malaysia-for-labor-exploitation

මැලේසියාවේ සෙලැන්ගෝර් ප්‍රාන්තයේ ජෙන්ජරොම් හිදී බලහත්කාර ශ්‍රම සූරාකෑමේ ජාවාරමකට සම්බන්ධ බවට සැකපිට 38 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු එරට ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, එහිදී අනුකම්පා විරහිත ලෙස සූරාකෑමට ලක්ව සිටි ශ්‍රී ලාංකික කාන්තාවක ද මුදාගැනීමට බලධාරීන් සමත් වී තිබේ.




ලැබුණු මහජන පැමිණිලි සහ රහස්‍ය බුද්ධි තොරතුරු පදනම් කරගනිමින් මානව ජාවාරම් සහ සංක්‍රමණිකයන් හොර රහසේ ප්‍රවාහනය කිරීමට එරෙහි සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ ඒකකය විසින් මෙම විශේෂ මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත.

මැලේසියානු ජාතික කාන්තාවක සමඟ විවාහ වී දීර්ඝකාලීන පදිංචි වීසා බලපත්‍රයක් හිමිකරගෙන සිටින අදාළ සැකකරු, නීත්‍යානුකූල රැකියාවක් සහ සේවා වීසා බලපත්‍ර ලබාදෙන බවට පවසමින් මෙම කාන්තාව එරටට ගෙන්වාගෙන තිබේ. පසුව ඇයව සැකකරුට අයත් ආහාර ව්‍යාපාරයේ කිසිදු වේතනයක් නොගෙවා සේවයේ යොදවා ඇති අතර, ප්‍රමාණවත් ලෙස ආහාර ලබා නොදී ගමනාගමන හිමිකම් අහුරමින් ශාරීරික වදහිංසා සහ තර්ජන එල්ල කර ඇති බව මූලික විමර්ශනවලදී තහවුරු වී ඇත.




එරට ජාතික මාර්ගෝපදේශවලට අනුකූලව අදාළ කාන්තාව සූරාකෑමට ලක්වූ තැනැත්තියක ලෙස හඳුනාගෙන නිලධාරීන් භාරයට ගෙන ඇති අතර, මෙම මෙහෙයුමේදීම වලංගු ගමන් ලේඛන නොමැතිව නීති විරෝධී ලෙස රැඳී සිටි වයස අවුරුදු 21 ත් 51 ත් අතර පසුවන තවත් ශ්‍රී ලාංකිකයන් හයදෙනෙකු (පිරිමි පුද්ගලයන් සිව්දෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු) ද අත්අඩංගුවට පත්ව තිබේ.

සැකකාර ශ්‍රී ලාංකිකයාට එරෙහිව 2007 අංක දරන මානව ජාවාරම් සහ සංක්‍රමණිකයන් හොර රහසේ ප්‍රවාහනය කිරීමට එරෙහි පනත සහ ආගමන විගමන පනත යටතේ නීතිමය පියවර ගෙන ඇති අතර, බලහත්කාර ශ්‍රමය ලබාගැනීම් සහ මානව ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව කිසිදු තරාතිරමකින් තොරව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව මැලේසියානු ආගමන විගමන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

sri-lankan-businessman-arrested-in-malaysia-for-labor-exploitation

Post a Comment

Previous Post Next Post