හොරණ ජාත්‍යන්තර පෙර පාසලක දරුවන්ගේ රන් පංචායුද සොරකමට සිකියුරිටි නෝනා රිමාන්ඩ්

security-lady-remanded-for-stealing-gold-panchayuda-of-children-from-horana-international-preschool

හොරණ, ඉලිඹ ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ ජාත්‍යන්තර පෙර පාසලක සිසුන්ගේ රන් පංචායුද වරින් වර සොරකම් කිරීමේ සිද්ධියකට සම්බන්ධ එම විද්‍යාලයේම ආරක්ෂක නිලධාරිනියක මේ මස 30 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට හොරණ ප්‍රධාන මහේස්ත්‍රාත් ලක්මිණි විධානගමගේ මහත්මිය නියෝග කර තිබේ. මෙලෙස බන්ධනාගාරගත කර ඇත්තේ කිරිගල ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි වියේ පසුවන කාන්තාවකි.




මෙම සොරකම සම්බන්ධයෙන් කරුණු අනාවරණය වී ඇත්තේ පෙර පාසල් ගොස් නිවසට පැමිණි තම දරුවන්ගේ ගෙල බැඳි රන් පංචායුද අතුරුදන් වී ඇති බවට දෙමාපියන් පස්දෙනෙකු විසින් හොරණ පොලිසිය වෙත ඉදිරිපත් කරන ලද පැමිණිලිවලට අනුවය. ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් අදාළ පෙර පාසල් පරිශ්‍රය තුළ විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කර ඇත.

එහිදී සැකකාර ආරක්ෂක නිලධාරිනිය රැඳී සිටි ආරක්ෂක කුටිය පරීක්ෂාවට ලක් කර ඇති අතර, එහි තිබූ ඇය භාවිත කළ කූඩයක් තුළ සඟවා තිබූ අතුරුදන් වූ පංචායුද දෙකක් සොයා ගැනීමට පොලිසිය සමත් විය. පසුව අත්අඩංගුවට ගත් සැකකාරියගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදී ඇය විසින් වරින් වර දරුවන්ගේ ගෙලෙන් මෙම පංචායුද ගලවාගෙන ඇති බව පිළිගෙන තිබේ. එමෙන්ම සොරකම් කරන ලද පංචායුද අතුරින් පහක් විවිධ උකස් මධ්‍යස්ථාන වෙත උකස් කර ඇති බව ද පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.




මේ පිළිබඳව අධිකරණය හමුවේ කරුණු දැක්වූ හොරණ පොලිසියේ පොලිස් පරීක්ෂක තරංග වික්‍රමාරච්චි මහතා සඳහන් කළේ, කුඩා දරුවන්ගේ ආරක්ෂාව සහතික කිරීමට බැඳී සිටින ආරක්ෂක නිලධාරිනියක විසින්ම මෙවැනි ක්‍රියාවක් සිදු කිරීම බරපතළ තත්ත්වයක් වන අතර, මේ හේතුවෙන් දරුවන්ගේ සමස්ත ආරක්ෂාව පිළිබඳව බියක් හා ගැටලුකාරී තත්ත්වයක් උද්ගත වන බවයි.

Post a Comment

Previous Post Next Post