වරාය නැගෙනහිර පර්යන්තය පෞද්ගලීකරණය කරනවාට එරෙහිව වෘත්තිය සමිතියෙන් ජනපතිට ලිපියක්

a-letter-from-the-union-to-the-president-against-the-privatization-of-the-ports-eastern-terminal

කොළඹ වරායේ නැගෙනහිර බහලුම් පර්යන්තය පෞද්ගලීකරණය කිරීමට හෝ එස්.ඒ.ජී.ටී. (SAGT) පර්යන්තය යළිත් පෞද්ගලික අංශය වෙත පැවරීමට රජය උත්සාහ කරන්නේ නම් එයට දැඩි විරෝධය පළ කරන බව වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය පවසයි.

මේ සම්බන්ධයෙන් කරුණු දක්වමින් එම සන්ධානය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයා ඇතුළු බලධාරීන් වෙත විශේෂ ලිපියක් යොමු කර තිබේ.




වසර 30ක කාලයක් සඳහා පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ පවරා ඇති එස්.ඒ.ජී.ටී. පර්යන්තයෙන් ගත වූ වසර 27ක කාලය තුළ රජයට ලැබී ඇත්තේ ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක පමණ ආදායමක් වුවද, නැගෙනහිර පර්යන්තය සතු ඉහළ ආදායම් විභවය එම ලිපිය මගින් පෙන්වා දී ඇත. වරාය අධිකාරියේ කළමනාකාර අධ්‍යක්ෂවරයාගේ ප්‍රකාශ උපුටා දක්වමින් වෘත්තීය සමිති සඳහන් කරන්නේ නැගෙනහිර පර්යන්තයේ දැනට ඉදිකර ඇති අඩක කොටසින් පමණක් දිනකට ඇමෙරිකානු ඩොලර් මිලියනය බැගින් වසරකට ඩොලර් මිලියන 360ක ආදායමක් උපයාගත හැකි බවයි.

නැගෙනහිර බහලුම් පර්යන්තයේ වර්තමාන තත්ත්වය පිළිබඳව වරාය නිලධාරීන් දැනුවත් කිරීම සඳහා පසුගිය අප්‍රේල් මස 29 වැනිදා මහපොළ වරාය හා සමුද්‍රීය විද්‍යායතනයේ පැවති විශේෂ වැඩසටහනකදී කළමනාකාරීත්වය මෙම තොරතුරු අනාවරණය කර තිබේ. එම දත්තයන්ට අනුව නැගෙනහිර පර්යන්තයේ සියලු ඉදිකිරීම් අවසන් කිරීමෙන් පසුව ප්‍රයිම්මූවර් යන්ත්‍ර යොදාගනිමින් වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් මිලියන 700ක පමණ ආදායමක් රජය වෙත ලබාගැනීමේ හැකියාව පවතී.




පර්යන්තයේ මෙහෙයුම් කටයුතු සඳහා අත්‍යවශ්‍ය වන ‘ස්ට්‍රැඩල් කැරියර්’ (Straddle Carriers) උපකරණ නොමැති වුවද, පවතින ප්‍රයිම්මූවර් යන්ත්‍ර භාවිතයෙන් මෙවැනි ඉහළ ආදායමක් ලැබිය හැකි බව වරාය අධිකාරියේ ඉහළ කළමනාකාරීත්වය පවසා ඇති බව වෘත්තීය සමිති සිය ලිපියේ සඳහන් කරයි. කෙසේ වෙතත්, අදාළ උපකරණ මිලදී ගැනීම සඳහා ප්‍රසිද්ධ කර තිබූ ටෙන්ඩරය අවලංගු කර වසර එකහමාරකට වැඩි කාලයක් ගත වී ඇතත්, නව ඇනවුම් කිරීමට රජය ප්‍රමාද කිරීම නැගෙනහිර පර්යන්තය පෞද්ගලීකරණය සඳහා පසුබිම සකස් කරන කුමන්ත්‍රණයක කොටසක් බවට ඔවුහු චෝදනා කරති.

නැගෙනහිර පර්යන්තය පෞද්ගලීකරණය නොකරන බවට මැතිවරණ පොරොන්දුවක් ලබාදී බලයට පත් වූ වත්මන් රජය, මේ වන විට එම පර්යන්තය පෞද්ගලික අංශයට පැවරීම සඳහා සැලසුම් සකස් කිරීමට උපදෙස් ලබාදී ඇති බව ලිපිය මගින් හෙළි කර තිබේ. ඒ සඳහා ජනාධිපති ලේකම්වරයා විසින් වරාය හා නාවික අමාත්‍යාංශයට සහ වරාය අධිකාරිය වෙත ලිඛිතව දැනුම් දී ඇති බව ද එම සන්ධානය පෙන්වා දෙයි.



2020 වසරේදී එවකට පැවති පාලනය නැගෙනහිර පර්යන්තය පෞද්ගලීකරණය කිරීමට ගත් උත්සාහය වරාය සේවකයන්, බහුජන සංවිධාන සහ මහජනතාව එක්ව ජීවිත පරිත්‍යාගයෙන් කළ අරගලයකින් පරාජය කළ බව වෘත්තීය සමිති සිහිපත් කරයි. එබැවින් වරාය සතු ජාතික සම්පත් පෞද්ගලික අංශයට පැවරීම සඳහා ගනු ලබන සියලු උත්සාහයන් පරාජය කිරීමට වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය ඉදිරියේදීත් මූලිකත්වය ගෙන කටයුතු කරන බව එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.

Post a Comment

Previous Post Next Post