නීතිවිරෝධී ලෙස විදේශ රටකින් මෙරටට ගෙන්වන ලද අධිබලැති යතුරුපැදියක් සඳහා වෙනත් සාමාන්‍ය යතුරුපැදියක ලියාපදිංචි අංක තහඩු සහ ව්‍යාජ ලේඛන භාවිත කරමින් ධාවනය කළ පුද්ගලයන් දෙදෙනෙකු පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. රුපියල් ලක්ෂ පනහකට ආසන්න වටිනාකමකින් යුත් මෙම අධිබලැති යතුරුපැදිය කිසිදු නීත්‍යානුකූල බලපත්‍රයක් නොමැතිව හොර රහසේ මෙරටට ගෙන්වා ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
හොරණ, මීවනපලාන ප්‍රදේශයේ පිහිටි නිවසක සඟවා තිබියදී මෙම යතුරුපැදිය සොයාගෙන ඇති අතර, ඒ සඳහා ව්‍යාජ ලෙස අංක තහඩු සැපයූ අනෙක් යතුරුපැදිය ද පොලිස් භාරයට ගැනීමට නිලධාරීන් කටයුතු කර තිබේ.පොලිස් අත්අඩංගුවට පත්ව ඇති සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 30 සහ 35 යන වයස් කාණ්ඩවල පසුවන හොරණ මීවනපලාන ප්‍රදේශයේම පදිංචිකරුවෝ වෙති. එකම ලියාපදිංචි අංකය සහිත යතුරුපැදි දෙකක් හොරණ ප්‍රදේශය තුළ ධාවනය වන බවට පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති රොහාන් විශ්වනාත් මහතාට ලද රහසිගත තොරතුරකට අනුව මෙම විශේෂ වැටලීම ක්‍රියාත්මක කර ඇත. විමර්ශනවලදී හෙළි වී ඇත්තේ ජාඇල ප්‍රදේශයෙන් මිලදී ගෙන ඇති මෙම අධිබලැති යතුරුපැදිය නීත්‍යානුකූල වාහනයක් ලෙස ඇඟවීම සඳහා, මීවනපලාන ප්‍රදේශයේ පදිංචි අනෙක් සැකකරු තමා සතු යතුරුපැදියේ අංක තහඩු සහ ඊට අදාළ ලේඛන මෙලෙස නීතිවිරෝධී ලෙස ලබා දී ඇති බවයි.
මෙම වංචනික ක්‍රියාවට සම්බන්ධ අධිබලැති යතුරුපැදියේ මුල් හිමිකරු ජාඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට මේ වන විට හඳුනාගෙන ඇති අතර, ඔහුද ඉදිරියේදී අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමට පොලිසිය විමර්ශන කටයුතු මෙහෙයවයි. මෙම සුඛෝපභෝගී අධිබලැති යතුරුපැදිය භාවිත කරමින් මෙරට තුළ කිසියම් අපරාධමය හෝ නීතිවිරෝධී ක්‍රියාවක් සිදුකර තිබේද යන්න සෙවීම සඳහා ද පොලිසිය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සහ නීතිවිරෝධී ලෙස භාවිත කළ යතුරුපැදි ද්විත්වය ඉදිරි නීතිමය පියවර සඳහා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.