A plant quarantine officer was caught secretly helping a company.

a-plant-quarantine-officer-is-caught-helping-a-company-from-under

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ පිහිටි ශාක නිරෝධායන ඒකකයට අනුයුක්තව සේවය කරන සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂිකාවක විසින් සිය හිතවතෙකුට අයත් සමාගමකට නීති විරෝධී අන්දමින් සහාය පළ කිරීමක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව වෙත විශේෂ පැමිණිල්ලක් ලැබී තිබේ. මෙරට ජෛව ආරක්ෂණ නීති සහ ශාක නිරෝධායන ක්‍රියාපටිපාටි සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කරමින් සිදුකර ඇති මෙම අක්‍රමිකතා හේතුවෙන් ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික මෙන්ම පාරිසරික සුරක්ෂිතතාවයද දැඩි අවදානමකට ලක්ව ඇති බව අදාළ පැමිණිල්ලෙන් වැඩිදුරටත් පෙන්වා දී ඇත.




අදාළ නිලධාරිනිය විසින් සිය හිතවත් සමාගම ආනයනය කරන ලද මල් වර්ග සහ ආහාර ද්‍රව්‍ය රසායනාගාර පරීක්ෂණවලින් සමත් වීමට ප්‍රථමයෙන් අර්ධ වශයෙන් නිදහස් කිරීමට කටයුතු කර ඇති බවට චෝදනා එල්ල වේ. ඊට අමතරව පරීක්ෂණ සඳහා ලබාගත් සාම්පල විනාශ වූ බවට අසත්‍ය වාර්තා සැපයීම, මුල් ලේඛන වෙනුවට ඡායා පිටපත් භාවිත කරමින් භාණ්ඩ නිෂ්කාශනය කිරීම සහ කෘමීන් හෝ රෝග සහිත බැවින් විනාශ කළ යුතු යැයි නිර්දේශිත භාණ්ඩ තොග විශාල වශයෙන් මුදාහැරීම යනාදී බරපතළ චෝදනා රැසක් ඇයට එරෙහිව රේගු සමාජ ආරක්ෂණ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති තොරතුරුවල සඳහන් වේ. ඇතැම් අවස්ථාවලදී ඇය සිය නිවසේ සිට ලිපි සකස් කරමින් නිරෝධායන අනුමැතිය අවශ්‍ය භාණ්ඩ නිදහස් කරන ලෙස රේගුවට දන්වා යවා ඇති බවද රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අනාවරණය කර ඇත.

මෙම තත්ත්වය හමුවේ අදාළ නිලධාරිනියගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් කඩිනම් සහ ස්වාධීන පරීක්ෂණයක් පවත්වන ලෙසත්, ඇයට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගනිමින් මෙරට ජෛව ආරක්ෂණ නීති නිසි පරිදි බලාත්මක කරන ලෙසත් පැමිණිල්ල ඉදිරිපත් කළ ආනයනකරු රේගු බලධාරීන්ගෙන් දැඩිව ඉල්ලා සිටියි. මීට පෙර පසුගිය ජනවාරි මාසයේදීද කෘෂිකර්ම උපදේශකවරුන්, පර්යේෂණ සහ තාක්ෂණික සහායකවරුන් මෙන්ම කළමනාකරණ සේවා නිලධාරීන්ගේ එකමුතුවක් විසින් අත්සන් තිස්පහකින් යුත් ලිපියක් මගින් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙතද මෙම නිලධාරිනියගේ අක්‍රමිකතා සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබීමද විශේෂත්වයකි.




කෙසේ වෙතත් මෙම චෝදනා සම්බන්ධයෙන් අදාළ නිලධාරිනියගෙන් සිදුකළ විමසීමකදී ඇය ප්‍රකාශ කර ඇත්තේ තමන්ට එරෙහිව රේගු දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත්ව ඇති පැමිණිල්ලක් පිළිබඳව මෙතෙක් කිසිදු දැනුවත් කිරීමක් සිදුකර නොමැති බවයි.

Post a Comment

Previous Post Next Post