Maharagama woman who swindled money by promising to send people to Canada and Albania gets caught

maharagama-who-collected-money-by-saying-that-it-is-being-sent-to-canada-is-being-sent-to-albania

ඇල්බේනියාව සහ කැනඩාව වැනි රටවල රැකියා අවස්ථා ලබා දෙන බව පවසමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල ජනතාවගෙන් රුපියල් කෝටියකට අධික මුදලක් වංචා කළ කාන්තාවක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම සැකකාරිය මහරගම ප්‍රදේශයේ පිහිටි ග්ලෝබල් එඩියුකෙයාර් කන්සල්ටන්සි (Global Educare Consultancy) නමැති ශිෂ්‍ය වීසා ලබා දෙන ආයතනයක් පවත්වාගෙන යන මුවාවෙන් මෙම මහා පරිමාණ ජාවාරම සිදු කර ඇති බව කාර්යාංශයට ලද පැමිණිලි ඔස්සේ කළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.




ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් කිසිදු වලංගු ලියාපදිංචියක් හෝ බලපත්‍රයක් ලබා නොගෙන නීතිවිරෝධී ලෙස පවත්වාගෙන ගිය මෙම ආයතනය විශේෂ විමර්ශන නිලධාරීන් විසින් වටලනු ලැබූ අතර, එහි තිබී විවිධ රැකියා ගිවිසුම් ඇතුළු තවත් වැදගත් ලේඛන රැසක් නිලධාරීන්ගේ භාරයට ගෙන තිබේ. අත්අඩංගුවට පත් වූ සැකකාර කාන්තාව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව, ඇයව අප්‍රේල් මස 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මේ අතරතුර, ජපානයේ රැකියා ලබා දෙන බව පවසමින් මීරිගම ප්‍රදේශයේ පවත්වාගෙන ගිය තවත් වංචනික ආයතනයක් සම්බන්ධයෙන් ද විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණිලි තුනක් ලැබී තිබුණි. ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ විමර්ශන නිලධාරීන්, ඒඑස්පීඒ (ASPA) නමින් පවත්වාගෙන ගිය එම ව්‍යාජ ආයතනය වෙත උපාය දූතයෙකු යොදවා ඉතා සූක්ෂම ලෙස වැටලීමක් සිදු කර අදාළ ජාවාරම්කරුවන් නීතියේ රැහැනට කොටු කර ගැනීමට සමත් විය.




මෙම වැටලීමේ ප්‍රතිඵලයක් ලෙස මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක් පළමු සැකකාරිය ලෙසත්, ජාඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු දෙවන සැකකරු ලෙසත් අත්අඩංගුවට පත් විය. එම සැකකරුවන් දෙදෙනා පසුගිය අප්‍රේල් මස 07 වැනිදා අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු අතර, එහිදී පළමු සැකකාරිය අප්‍රේල් මස 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටත්, දෙවන සැකකරු ඇප මත මුදා හැරීමටත් අධිකරණය විසින් නියෝග කර ඇත.

Post a Comment

Previous Post Next Post