මහ වැසි මැද ඇසුණු ඒ මහ හඬ බෝම්බයක් පුපුරා ගියාක් මෙනි. ඝන කළු දුමාරයකින් ප්‍රදේශයම වැසී යද්දී, වීදුරු කැබලි අතරින් ඇසුණේ දරුවන්ගේ සහ මගීන්ගේ ඛේදනීය විලාපයයි.
මහනුවර - යාපනය ඒ-නවය මාර්ගයේ රඹෑව ප්‍රදේශය ඊයේ (10 දා) උදෑසන කම්පා කරවූයේ බස් රථ තුනක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අතිශය දරුණු රිය අනතුරකිනි.සිවු දෙනකුට දිවි අහිමි කරමින්, තවත් හැත්තෑවකට අධික පිරිසක් රෝහල් ගත කළ මේ මහා ඛේදවාචකය සිදුවූයේ උදෑසන 9.10ට පමණය. මිහින්තලය, රඹෑව, වැලිඔය හන්දිය ආසන්නයේ ‘නෙළුම් කොළය’ බත්කඩය ඉදිරිපිටදී මෙම මාරක අනතුර සිදුව ඇති බව මිහින්තලය පොලිසිය පවසයි.
අනතුරේ ස්වභාවය සිතාගැනීමටත් අපහසු තරම් දරුණුය. පොලිසිය සඳහන් කරන ආකාරයට, ජනකපුර සිට මිහින්තලය හරහා කොළඹ බලා ධාවනය වෙමින් තිබූ කැබිතිගොල්ලෑව ඩිපෝවට අයත් ලංගම බස් රථය, පටු ඉඩකදී එහි ගමන් කළ පෞද්ගලික බස් රථයක් ඉස්සර කිරීමට උත්සාහ කර තිබේ. ඒ මොහොතේම එය අක්කරපත්තුව සිට යාපනය බලා ධාවනය වෙමින් තිබූ වවුනියාව ඩිපෝවේ ලංගම බස් රථයේ මුහුණට මුහුණ ගැටී ඇත. එම ප්‍රබල ගැටුමත් සමඟම, වවුනියාවේ සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයද කැබිතිගොල්ලෑව ලංගම බස් රථයේ පිටුපසින් ගැටී තිබේ. අනතුර සිදුවන අවස්ථාවේ ප්‍රදේශයට වර්ෂාව ඇද හැලෙමින් තිබූ අතර, මාර්ගය ලිස්සා යාමද මීට හේතු වන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
මෙම ඛේදවාචකයෙන් පුද්ගලයින් සිව් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. ඒ අතර කැබිතිගොල්ලෑව ඩිපෝවට අයත් බස් රථයේ රියැදුරා ද වෙයි. ඔහු අනතුර සිදුවූ ස්ථානයේදීම මියගොස් සිටි බව පොලිසිය පවසයි. හීරලුගම, ඇටවීර ගොල්ලෑව ලංකා ජයනාත් ඒකනායක, රිදීගම වෙරල ගොල්ලේ (208/01) එම්.සී. කීර්ති රත්න, වව්නියාව කට්ටකාඩුව ප්‍රදේශයේ ශිව කුමාරි සහ වේයන්ගොඩ බාඳුරාගොඩ (අරලිය 06/05) මුනවීර කන්කානම්ලාගේ සීලවති යන සිව් දෙනා මෙම අනතුරින් දිවි අහිමි වූවෝ වෙති.
අනතුර ඇසින් දුටු නෙළුම් කොළය බත්කඩය අසල හෝටල් හිමිකරුවකු වන යූ.ආර්. වික්‍රමසිංහ මහතා ඒ බිහිසුණු මොහොත විස්තර කළේ කැබිතිගොල්ලෑව බස් බෝම්බය ද යළිත් වරක් සිහිගන්වමිනි.
"බස් දෙකම ස්පීඩ් ඇවිත් මුහුණට මුහුණ හැපුණාම බෝම්බයක් පුපුරනවා වගේ සද්දයක් ඇහුණා. ඒත් එක්කම කළු දුමක් දැම්මා. සර සර ගාලා වීදුරු කෑලි වැටුණා. ඇතුළේ ළමයි එළියට ගන්න කියලා කෑ ගැහුවා. කළු දුමට කිසිම දෙයක් පේන්නේ නැහැ," ඔහු පැවසීය.
ඔහු පවසන ආකාරයට, ජීවිත බේරාගැනීමේ මෙහෙයුමට මුලින්ම ඉදිරිපත්ව ඇත්තේ ඔහුගේ ආපනශාලාවේ ආහාර ගනිමින් සිටි යුද හමුදා සෙබළුන් දෙදෙනෙකි. ඔවුන් සිය ආහාර වේල පසෙක දමා, වහා දිවගොස් බස් රථයේ ජනේල වීදුරු කඩාගෙන ඇතුළට බැස තුවාලකරුවන් පිටතට ගැනීම ආරම්භ කර තිබේ. අනතුරුව ප්‍රදේශවාසීහු විශාල පිරිසක් ද ජීවිත බේරාගැනීමට එක්රොක් වූහ.
ගැටුමෙන් පසු එක් බස් රථයක පිටුපස සුළු ගිනි ගැනීමකට ලක්ව ඇති අතර, විනාඩි 20කට ආසන්න කාලයක් එහි එන්ජිම ක්‍රියාත්මක වෙමින් (රේස් වෙමින්) විශාල දුමාරයක් ප්‍රදේශය පුරා පතුරුවා හැර ඇත. ප්‍රදේශවාසීන් පිහියකින් බට කපා එය නැවැත්වීමට උත්සාහ කළද එය අසාර්ථක වූ තැන, ඩීසල් බටය කඩා දැමීමෙන් පසුව එන්ජිම නතර කරගැනීමට ඔවුන් සමත්ව තිබේ. ඉන් පසුව බස් රථයේ ඉදිරිපස කොටස් කඩා ඉවත් කර තුවාලකරුවන් පිටතට ගත් බවත්, රියැදුරු මහතා යටවී සිටිනු දුටුවේ අවසානයට බවත් වික්‍රමසිංහ මහතා කීය. රඹෑවේදී බස් රථයක් ගිනි ගන්නා බවට ලැබුණු තොරතුරකට අනුව අනුරාධපුර මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ සාමාජිකයෝ ද වහා එම ස්ථානයට පිටත්ව ආහ.
වැලිඔය හන්දිය අසල පාපැදි අලෙවිසලක සේවය කරන ඉෂාන් සඳරුවන් මහතා දුටු දසුන තවත් සංවේදීය.
"බෝම්බ සද්දයක් වගේ ඇහුණා. පැත්තම කළු දුමෙන් වැහිලා ගියා. පොඩි ළමයි, තරුණ අය, වයසක අය බේරගන්න කියලා කෑගහන ශබ්දය ඇසුණා. එකම විලාපයයි. වැස්ස නිසා මොකුත් කරගන්න බෑ. කේබල් ගෙනල්ලා ඇදලා තමයි කට්ටිය එළියට ගත්තේ. සෙල්ලම් බඩු, පාඩම් පොත් තැන් තැන්වල," ඔහු පැවසීය.
අනතුරේ වේගය සහ භීතිය, දිවි ගලවාගත් මගීන්ගේ වචනවලින් මනාව පැහැදිලි වේ. රජරට විශ්වවිද්‍යාල සිසුවෙකු වන ආර්. එම්. හසිත බස් රථයේ ජනේලයකින් බිමට පැන දිවි බේරාගෙන ඇත.
"බස් එකෙන් බහින්න ෆුට් බෝඩ් එකවත් තිබුණේ නෑ. මම ළඟ තිබුණු ජනේලයකින් බිමට පැනලා යාළුවා ඉන්නවද කියලා හොයලා බැලුවා. බස් එකේ ඉස්සරහ පැත්ත, පිටිපස්ස පැත්ත දෙපැත්තම හැප්පිලා තිබුණේ. ඔක්කොම බස් වේගයෙන් තමයි ආවේ," ඔහු කීය. පදවිය ප්‍රදේශයේ සිට පැමිණි විශ්වවිද්‍යාල සිසුවියක වන බී.එම්. කවීෂා පැවසුවේ තමන්ට එක්වරම විශාල ශබ්දයක් ඇසුණු බවත්, බස් රථයේ ඉදිරිපසින් මෙන්ම පිටුපසින් ද හැප්පීම නිසා මගීන් සෑම තැනම වැටී සිටි බවත්ය.
මෙම විලාපය මැද, යුද හමුදාව, පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව දැඩි වෙහෙසක් දරා තුවාලකරුවන් බස් රථවලින් පිටතට ගෙන තිබේ. අනතුරුව තුවාලකරුවන් කඩිනමින් රඹෑව, මැදවච්චිය සහ අනුරාධපුර ශික්ෂණ රෝහල් වෙත ඇතුළත් කෙරිණි. පසුව රඹෑව සහ මැදවච්චිය රෝහල්වල සිටි බරපතළ තත්වයේ රෝගීන් ගිලන්රථ තිහකට අධික සංඛ්‍යාවකින් අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත රැගෙන ගිය බව පොලිසිය සඳහන් කළේය. අනුරාධපුර ශික්ෂණ රෝහලේ ගිලන් රථ සහ විශේෂ වෛද්‍ය කාර්ය මණ්ඩලයක් ද අනතුර සිදුවූ ස්ථානයටම යොදවා රෝගීන් ස්ථාවර තත්වයට පත් කිරීමෙන් පසුව රෝහල වෙත ගෙන ඒමට පියවර ගෙන තිබිණි.
ඊයේ පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය එන්.සී. නිමල් ආරියරත්න මහතා පැවසුවේ,
අනතුරින් තුවාල ලැබූ 61 දෙනෙකු මේ වන විට අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි. ඊට අමතරව තවත් 10 දෙනෙකු මැදවච්චිය රෝහලේ ප්‍රතිකාර ලබති. අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබන අය අතර කුඩා දරුවකු, යුද හමුදා සෙබළුන් දෙදෙනෙකු සහ කාන්තාවන් 20 දෙනෙකු ද වන බව රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
වෛද්‍ය ආරියරත්න මහතා වැඩිදුරටත් අවධාරණය කළේ අනුරාධපුර රෝහලට ඇතුළත් කළ රෝගීන්ගෙන් මෙතෙක් කිසිදු මරණයක් වාර්තා වී නොමැති වුවද, අසාධ්‍ය තත්වයේ පසුවන රෝගීන් දෙදෙනෙකු දැඩි සත්කාර ඒකකයට යොමු කර ඇති බවත්, තවත් තිදෙනකු විශේෂ අධීක්ෂණය යටතේ පසුවන බවත්ය. රෝගීන් බහුතරයකගේ අත් පා සහ ඉල ඇට කැඩීම් (Fractures) වැනි බරපතළ තුවාල වාර්තා වී ඇති අතර, ඔවුන් සඳහා අවශ්‍ය MRI, CT ස්කෑන් සහ X-ray පරීක්ෂණ අවසන් කර ශල්‍යකර්ම ඇතුළු ඉදිරි ප්‍රතිකාර කටයුතු මේ වනවිටත් සාර්ථකව සිදුකෙරෙමින් පවතී. සිද්ධිය වාර්තා වීමත් සමඟ රෝහල් කාර්ය මණ්ඩලය රෝගීන්ගේ ජීවිත බේරා ගැනීමට යුහුසුලුව කටයුතු කර තිබේ.
මියගිය සිව්දෙනාගේ මළ සිරුරු රඹෑව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබූ අතර, ඊයේ පස්වරුවේ මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබිණි. ඉන් අනතුරුව මළ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ගෙන ඒමට නියමිත බව රෝහල් අධ්යක්ෂවරයා සඳහන් කළේය.
තැන් තැන්වල විසිරී ගිය ළමා සෙල්ලම් බඩු සහ පාඩම් පොත් අතරින්, මහ වැස්ස නොතකා මිනිස් ජීවිත බේරාගැනීමට ප්‍රදේශවාසීන් සහ ආරක්ෂක අංශ දැරූ වෑයම පමණක්, ඒ-නවය මාර්ගයේ සිදුවූ මෙම මහා ඛේදවාචකය මැද සදාකාලික සාක්ෂියක් ලෙස ඉතිරිව පවතී.