බදුල්ලේ පැවති ජාතික ජන බලවේගයේ දිස්ත්රික් කාන්තා සමුළුව අමතමින් ජනාධිපතිවරයා අද (18) ආන්දෝලනාත්මක ප්රකාශ ගණනාවක් සිදු කළේය. ආණ්ඩුව දූෂණය, මත්ද්රව්ය ජාවාරම සහ සංවිධානාත්මක පාතාල ක්රියාකාරකම් මැඩපැවැත්වීම සඳහා දියත් කර ඇති දැඩි වැඩපිළිවෙළට එරෙහිව මෙරට ප්රධාන පෙළේ රූපවාහිනී නාලිකා දෙකක් එක්ව කෘත්රිම නොසන්සුන්තාවයක් නිර්මාණය කිරීමට උත්සාහ දරමින් සිටින බවද එම කුමන්ත්රණ වලට ඉඩ නොතබන බවද ඥානසාර හිමිට තමන් සමාව නොදෙන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.
සම්පූර්ණ කතාව Text පහත පරිදිය.කාන්තාවන්ගේ ශක්තිය සහ ආණ්ඩුවේ ජයග්රහණය
අපේ ආණ්ඩුවේ අග්රාමාත්ය ධුරය දරන හරිනි අමරසූරිය සහෝදරියගෙන්, ඒ වගේම අපේ ආණ්ඩුවේ කාන්තා කටයුතු අමාත්ය ධුරය දරන සරෝජා පෝල්රාජ් සහෝදරියගෙන්, ඒ වගේම මේ බදුල්ල දිස්ත්රික්කයට නායකත්වය සපයන අපේ සමන්ත විද්යාරත්න සහෝදරයා, ඒ වගේම මේ බදුල්ල දිස්ත්රික්කයේ ප්රබලතම කාන්තා නියෝජනය වන අපේ අම්බිකා සහෝදරිය සහ අද දිනයේ මේ බදුල්ල දිස්ත්රික් ජාතික ජන බලවේගයේ කාන්තා සංවිධානයේ විධායක සභාව නියෝජනය කරමින් තෝරා පත් වුණු අපේ සහෝදරියන්, සහභාගි වෙලා ඉන්න සහෝදර සහෝදරියන්, මෑණිවරුන්, දියණියන් සියලු දෙනාගේම අවස්ථාවයි මේ.
දැන් මේ දවස්වල, නිකන් කලබලකාරී තත්ත්වයක් වගේ හදනවා. ගමේ එහෙම තියෙනවද? ගමේ කලබලයක් තියෙනවද? ඒ කලබලය ඔක්කොම තියෙන්නේ මාධ්යවල, එහෙම නේද? ගමේ තියෙනවද? නෑ. ගමේ අද ශක්තිමත්ව වැඩ කරමින් තිබෙන බලවේගය තමයි ජාතික ජන බලවේගය, අපේ ආණ්ඩුව. වෙන තියෙනවද ගම්වල? වෙන මුකුත් නෑ. හැබැයි මාධ්ය ඇතුළේ නිකන් කලබලකාරී තත්ත්වයක් පෙන්නුම් කරන්න උත්සාහ කරමින් තිබෙනවා. ඒකට හේතු තියෙනවා.
විශේෂයෙන්ම අද අපි මේ බදුල්ලේදී හම්බවෙන්නේ, අපි හැමදාමත් කියනවා වගේ අපේ ආණ්ඩුව පත් කළේ ජනතාව, පොදු ජනතාව. ඒකෙදීත් මම හිතනවා, අපේ ආණ්ඩුව ගොඩනැගීමේ ප්රධානතම හැරවුම බවට පත්වුණේ, අපේ කාන්තාවෝ එක මිටට එකතු වීම. මතකද? ඒකෙ ප්රතිඵලයක් හැටියට මම හිතනවා, අපි 2024 සැප්තැම්බර් මාසයේ ආණ්ඩුව හදාගත්තා. ඒ නිසා අපේ ආණ්ඩුව හදන ප්රධානතම බලවේගය තමයි අපේ රටේ හිටපු කාන්තාවෝ, ඔබ. ඒ විතරක් නෙමෙයි මම දන්නවා, මේ ආණ්ඩුව ආරක්ෂා කරන්නේත්, මේ ආණ්ඩුවට දිගින් දිගටම ජයග්රහණ ගෙනැත් දෙන්නේත් මේ රටේ කාන්තාවෝ. මොකද කියන්නේ? ඔව්.
අනාගත පරම්පරාව වෙනුවෙන් සුරක්ෂිත රටක් සහ නව අධ්යාපනයක්
විශේෂයෙන්ම අපි දන්නවා, අපේ සහෝදරියන්, අපේ අම්මලා දිහා හැම දෙසින්ම බලපුවාම, ඔයාලා වැඩිම බලාපොරොත්තු තියන්නේ කවුරු කෙරෙහිද? තමන්ගේ ජීවිත කාලයෙන් වැඩි කාලයක් මහන්සි වෙන්නේ කවුරු වෙනුවෙන්ද? තමන් වැඩිම බරක් තමන්ගේ හිසට අරගෙන තියෙන්නේ කවුරු වෙනුවෙන්ද? කවුරු වෙනුවෙන්ද? ආ? දරුවෝ වෙනුවෙන්. තමන්ට තියෙන ජීවිතය, තමන්ට තියෙන විනෝදය, සතුට, ඒවාත් පැත්තකින් තියන්නේ මොකක් වෙනුවෙන්ද? දරුවෝ වෙනුවෙන්. දරුවෙක් අසනීප වුණොත්, තමන්ට අසනීප වුණාටත් වඩා වැඩියෙන් වේදනාවකින් පෙළෙනවා අපේ සහෝදරියන්. ඇයි? දරුවෝ වෙනුවෙන්. දරුවන්ට උගන්නන්න වෙහෙස වුණොත්, සමහර වෙලාවට දරුවන්ටත් වඩා වැඩියෙන් මහන්සි වෙන්නේ කවුද? අම්මලා. ඇයි? තමන්ට තමන්ගේ දරුවන් පිළිබඳ විශාල බලාපොරොත්තුවක්, අපේක්ෂාවක් තියෙනවා.
දැන් ආණ්ඩුවක මූලික වගකීම තමයි, මේ මොහොතේ ජීවත් වෙන ජනතාව අපි බලාගන්නත් ඕනෑ. හැබැයි ඒ වගේම ප්රධාන වගකීම තමයි, අපේ අනාගත පරම්පරාවට සුරක්ෂිත සහ ආරක්ෂිත රටක් ගොඩනැගීම. ඒක තමයි ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ ප්රධානම වගකීම ලෙස අපි සලකන්නේ. අනාගත පරම්පරාව අපි හදන්නේ කොහොමද? මම චීන ජනාධිපතිතුමා හම්බුණු වෙලාවේදී, එතුමාගෙන් ඇහුවා. චීනය අද විශාල ජයග්රහණයක් අත්පත් කරගෙන තියෙනවා, ලෝකයේ ප්රබල ආර්ථික බලවතෙක් හැටියට පත්වෙලා තිබෙනවා, තාක්ෂණයෙන් විශාල ඉදිරි පිම්මක් අරන් තියෙනවා, ලෝක වෙළඳපොළේ විශාල පංගුවක් චීනය අද අත්පත් කරගෙන තිබෙනවා. මම එතුමාගෙන් ඇහුවා, "මේ චීනය මේ තරම් විශාල ජයග්රහණයක් ලබා ගත්තු එක පිටුපස තියෙන රහස මොකක්ද?" එතුමා කිව්වා, "එකම රහස, අපේ පැරණි පරම්පරාවන් විසින් කළ කැපකිරීමේ ප්රතිඵල". ඉතින් අද චීනය අත්පත් කරගෙන තියෙන ජයග්රහණ පිටුපස තිබෙන ප්රධානම කාරණය මොකක්ද? පැරණි පරම්පරාව, ඒ රට ගොඩනැගීම සඳහා අපේක්ෂාවකින්, බලාපොරොත්තුවකින් කරන ලද කැපකිරීම් තමයි අද චීනය මෙතැනට ගෙනැල්ලා තියෙන්නේ කියලා එතුමා කිව්වා.
දැන් එහෙනම් අපිටත් තියෙනවා මොකක්ද? අපේ අනාගත පරම්පරාව වෙනුවෙන් අපි කැපවෙමින්, වෙහෙසවෙමින්, මහන්සියෙන් වැඩකරන්න ඕනෑ. අපේ අනාගත පරම්පරාවට කියන්න පුළුවන් වේවි, "අද ඔබ අත්පත් කරගෙන තියෙන ජයග්රහණයේ රහස මොකක්ද කියලා ඇහුවොත්, අපේ අම්මලා, තාත්තලා, අපේ වැඩිහිටි පරම්පරාව මේ රට වෙනුවෙන් කරපු කැපකිරීමේ ප්රතිඵල තමයි අද අපි මේ භුක්ති විඳින්නේ" කියලා. ඒක අපිට අවශ්යයි.
එහෙමනම් අපි මූලිකම ඉලක්කය සකස් කරලා තිබෙන්නේ එතැනට. කොතැනටද? අපේ අනාගත පරම්පරාවට කොහොමද බියෙන්, සැකයෙන් තොර, දෙමව්පියන්ට තමන්ගේ සිත තුළ, 'තමන්ගේ දරුවන්ට මොකක් සිද්ධ වේවිද' කියලා අපේක්ෂා භංගත්වයකින් තොරව ජීවත් විය හැකි රාජ්යයක් අපි හදන්න ඕනෑ. එහෙම හදනකොට ප්රධාන වැඩේ තමයි අපේ දරුවන්ට උගන්නන්න ඕනෑ. අපේ අම්මලා තාත්තලාත් වැඩිපුර වෙහෙස දරන්නේ ඒ වෙනුවෙන්. හැබැයි ඉගැන්වීමේදී අපි දන්නවා, විශාල වෙහෙසක් අපේ අම්මලා දරනවා. හැබැයි එහෙම දැරුවත්, අපිට ප්රතිඵල පිළිබඳ ඒ තරම් සෑහීමකට පත්වෙන්න බැහැ. එහෙමනම් කාලාන්තරයක් තිස්සේ අපේ රටට අවශ්ය වෙලා තිබුණා, මේ ඒකාකාරීව ගලාගෙන යන, අලුත් දැනුම එකතු කරගන්නේ නැති, නව ලෝකෙට උචිත නොවන, මිනිස්සු අතර තියෙන සහසම්බන්ධතා, එකිනෙකා අතර හැඟීම් වර්ධනය නොවන පැරණි අධ්යාපන ක්රමය වෙනස් කරන්න.
එහෙනම් අපි දරුවන්ට අධ්යාපනය ලබාදීම සඳහා වෙහෙසෙනවා වගේම අපිට වගකීමක් තියෙනවා. මොකක්ද? මොන අධ්යාපනයද දෙන්නේ? කොහොමද උගන්නන්නේ? ලෝකයේ තියෙන ප්රබලම ශ්රම වෙළඳපොළක් එක්ක තරඟ වදින්න පුළුවන් නිර්මාණශීලී දරුවෙක් හදන්නේ කොහොමද? මේක අපිට අලුත් අභියෝගයක්. මොකද පැරණි අධ්යාපන ක්රමය අපේ දරුවන්ට අනාගතය හදලා දෙන්නේ නැත්නම් අපි අලුත් අධ්යාපන ක්රමයකට යන්න ඕනෑ. ඉතින් අපේ අධ්යාපන අමාත්යාංශය භාරව කටයුතු කරන අග්රාමාත්යතුමිය විශේෂයෙන්ම විශාල වෙහෙසක් දරනවා මේ පැරණි අධ්යාපන ක්රමය වෙනුවට නූතන අධ්යාපන රටාවක් අපේ රටට ගේන්න.
අපි එළඹෙන ජනවාරි මාසයේ හයේ පන්තියටත්, එකේ පන්තියටත් නව අධ්යාපන ප්රතිසංස්කරණ පටන් ගන්නවා. අලුත් අධ්යාපනයක් අපිට අවශ්යයි. ඒ විතරක් නෙවෙයි නව අධ්යාපන ක්රමය තාක්ෂණය එක්ක බද්ධ වෙලා තිබෙනවා. ඒකට අවශ්ය තාක්ෂණික මෙවලම් භාණ්ඩාගාරයේ මුදල්වලින් අපි ලබා දෙන්න කටයුතු කරලා තිබෙනවා. ස්මාර්ට් බෝඩ් අවශ්යද? පරිගණක අවශ්යද? ඊට පස්සේ පාසල්වලට අවශ්ය සිග්නල් අවශ්යද? අපි ෆයිබර් (Fiber) පහසුකම් දැන් ලබාදීලා තියෙනවා මං හිතන්නේ. පාසල් හයදාස් ගණනකට ෆයිබර් අරන් දීලා තියෙනවා. අලුත් තාක්ෂණය එක්ක බද්ධ වෙන්න ඕනෑ. ඒ විතරක් නෙවෙයි, අපි ගුරුවරු 23,500ක් විතර බඳවාගන්න තීරණය කරලා තිබෙනවා. විශ්වවිද්යාලවල අධ්යයන කාර්ය මණ්ඩලය 1,515ක් බඳවාගන්න තීරණය කරලා තිබෙනවා. විශ්වවිද්යාල අනධ්යයන කාර්ය මණ්ඩලය 2,311ක් බඳවාගන්න තීරණය කරලා තිබෙනවා. මානව සම්පතින්, භෞතික සම්පතින් සහ නූතන අධ්යාපන ක්රමයකින් අපේ දරුවෝ අපි රැක බලාගන්න ඕනෑ. අන්න ඒ සඳහා ඉතාමත් වැදගත් පියවරක් අපි අරන් තියෙනවා.
හැබැයි මොකද වෙන්නේ? පැරණි දේවල් අර ඇඳුමක් මාරු කරනවා වගේ ලේසියෙන් මාරු කරන්න බෑ. පැරණි දේවල් මාරු කරන්න වෙනකොට මොකද වෙන්නේ? පැරණි බලවේග, පැරණි කණ්ඩායම් ඒකට විරුද්ධව කෑ ගහනවා. සමහර අය මම දැක්කා නව අධ්යාපන ප්රතිසංස්කරණ ගෙනාවොත් උපවාස කරලා මැරෙනවා කියනවා. බලන්නකෝ. ඇයි? ඒගොල්ලෝ පැරණි ලෝකෙට අයිතියි. ඒ නිසා අලුත් ලෝකෙකට අවශ්ය පරිවර්තනය පහසුවෙන් කරන්න බෑ. ඒ පහසුවෙන් කරන්න බැරි ඇයි? පැරණි ලෝකේ කට්ටිය මේකට නිකන් සරලව ගත්තොත් බාල්දි පෙරලනවා. කකුලෙන් අදිනවා. කරන්න දෙන්නැතුව ඉන්නවා. හැබැයි, හැමදෙනාම මතක තියාගන්න ඕනෑ, මේ ආණ්ඩුව ජනතාවගේ ආණ්ඩුවක්. කවර දේ ඇතිවුණත් ජනතාවගේ දරුවන් වෙනුවෙන් අරන් තියෙන තීන්දුව ආපසු හකුලුවන්නේ නැතුව අපි ඒ වැඩේ කරනවා. අන්න ඒකට තමයි අපිට මහජන බලය අවශ්ය.
සැමට සමාන නීතියක් සහ දරුවන්ට සුරක්ෂිත සමාජයක්
මොකද මේ නව වෙනස්කම් පැරණි අයගෙන් ලේසියෙන් කරන්න හම්බවෙන්නේ නෑ. ඊළඟට අපේ දරුවන් ලෝකෙට යනකොට අපේ දරුවන්ට අනාගත රට මොන වගේ රටක්ද දෙන්නේ? ලෝකයේ දියුණුයි සම්මත හැම රටකම තියෙන පොදු කුලකයක්, පොදු අදහසක් තියෙනවා. මොකක්ද? හැම රටකම නීතිය සමානව ක්රියාත්මක වෙනවා. අධ්යාපන ප්රතිසංස්කරණ විතරක් ප්රමාණවත් නෑ. අපේ දරුවන්ට අපි හදන රටේ නීතිය, සාධාරණත්වය හදන්න ඕනෑ. නීතිය සාධාරණව හැදුණේ නැත්නම් මොකද වෙන්නේ? ඒ දරුවන්ට ඒ රට ඇතුළේ අනාරක්ෂිතයි. අපිට උගන්නන්න පුළුවන්. දෙමාපියන්ට තමන්ගේ රැකවරණය යටතේ දරුවන් බලාගන්න පුළුවන්. හැබැයි, ඒ දරුවා සමාජයට යනකොට සමාජයේ තිබෙන නීතිය කඩා වැටෙන රටක් නම්, එකිනෙකාට වෙන වෙනම සලකන නීතියක් තියෙන රටක් නම්, ඒ දරුවන්ට ආරක්ෂාව නෑ. එහෙනම් ඒ දරුවන්ට ආරක්ෂාව ලැබෙන්න මොකක්ද වෙන්න ඕනෑ? නීතිය සමානව ක්රියාත්මක වෙන්න ඕනෑ.
හැබැයි අපේ රටේ සමාන නීතිය ක්රියාත්මක වෙන්නේ නෑ. මොකද වෙන්නේ? ගමේ ඉන්න දේශපාලන අධිකාරියට සම්බන්ධ ලොකුම චණ්ඩියා ගස් කපනවා. කැපුවේ නැද්ද? කපනවා. හැබැයි එයාට නීතිය ක්රියාත්මක වෙන්නේ නෑ. ඇයි? එයා දේශපාලන බලයෙන් ආරක්ෂා කරනවා. ගමේ ඉන්න දේශපාලන රැකවරණය ලබන ලොකුම චණ්ඩියා නීති විරෝධී වැලි කට දානවා, මයිනිං කරනවා. දැම්මේ නැද්ද? ඒකට නීතිය ක්රියාත්මක වෙන්නේ නෑ. එතකොට පාරිසරික පද්ධතිය කඩාගෙන වැටෙනවා. මතක තියාගන්න, ගමේ ඉන්න දේශපාලන රැකවරණය ලබන ලොකුම චණ්ඩියා නීති විරෝධී මත්ද්රව්ය අලෙවි කරනවා, විකුණනවා, පෙරනවා. නීතිය ක්රියාත්මක වෙන්නේ නෑ. ඇයි? දේශපාලන රැකවරණය තියෙනවා. අන්න එහෙම රටක දරුවන්ට රැකවරණය තියෙනවද? නෑ. දරුවන්ටත් මුළු සමාජයටත් රැකවරණය තියෙන්න නම් නීතිය හැම කෙනාටම සමානව ක්රියාත්මක වෙන්න ඕනෑ.
මොකද කියන්නේ? තෝරා බේරාගෙන නීතිය ක්රියාත්මක වෙන්න ඕනද? උස්මිටිකම් බලලා නීතිය ක්රියාත්මක වෙන්න ඕනද? වත්පොහොසත්කම් බලලා නීතිය ක්රියාත්මක වෙන්න ඕනද? එහෙම වුණොත් අපේ දරුවන්ට ඉතුරු වෙන්නේ අනාරක්ෂිත රටක්. ඒ නිසා අන්න දරුවන් වෙනුවෙන් අපි ආරක්ෂිත රටක් හදනවා නම් මොකද කරන්න ඕනෑ? නීතිය ඉදිරියේ සැවොම සමානයි. හැබැයි, ඒ පරිවර්තනය ලේසි නෑ. ඇයි ලේසි නැත්තේ? නීතියෙන් රැකවරණය ලබපු අය හිටියා. නීතියෙන් බේරෙන අය හිටියා. නීතියෙන් වරප්රසාද ලබන අය ඉන්නවා. ඒගොල්ලෝ කවදාවත් කැමති නෑ මොකටද? නීතිය සමාන රටක් හදනවට කැමති නෑ. ඒගොල්ලන්ට නීතියෙන් හැමවෙලාවෙම වරප්රසාද තියෙන්න ඕනෑ. රැකවරණය තියෙන්න ඕනෑ. ආරක්ෂාව තියෙන්න ඕනෑ. ඒගොල්ලෝ නීතියෙන් බේරෙන්න ඕනෑ. පහළ අයට විතරක් නීතිය ක්රියාත්මක වෙන්න ඕනෑ. සාමාන්යයෙන් ඒ නිසා අපේ රටේ නීතිය පිළිබඳව අදහසක් තිබුණා නිකන් නීතිය යනු මකුළු දැලක් වගේ කියලා. මකුළු දැල් තියෙන්නේ, ඒ කියන්නේ පොඩි සත්තු අහු වෙනවා, ලොකු සත්තු කඩාගෙන යනවා. එහෙම නේද තිබුණේ? අපේ රටේ නීතිය එහෙමයි තිබුණේ. එතකොට අපිට අවශ්යයි අපේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් හැම කෙනාටම සමාන නීතියක් තියෙන රටක් හදන්න. ඕනද නැද්ද? මට කියන්න. අපි ඒක හදනවා මතක තියාගන්න.
හැබැයි ඒක හදනකොට මොකද වෙන්නේ? පරණ නීතියෙන් වරප්රසාද ලබපු, පරණ නීතියට වඩා උඩින් හිටපු අය කලබල වෙනවා. මේ දවස්වල ටිකක් වැඩියෙන් කලබල වෙලා. ඇයි? මේ දවස්වල නීතිය තමන් ළඟට ළඟා නොවේවි කියලා හිතාගෙන හිටපු අය ගාවට නීතිය ඇවිල්ලා තියෙනවා. කවදාවත් හිටියේ නෑ. ඒගොල්ලෝ ගාව තියෙනවා රස්තියාදුකාර ආඩම්බරයක්, විශාල බලයක්. ඒගොල්ලෝ ගාවට නීතිය එනකොට මොකද වෙන්නේ? නීතිය අළු වෙනවා. ළඟා වෙන්නේ නෑ කියලා හිතාගෙන හිටපු කට්ටියක් හිටියා. නීතිය ඒගොල්ලන්ට ළඟා වෙනකොට නීතිය අළු වෙනවා, පිලිස්සෙනවා. හැබැයි අද එහෙම නෑ. අද එහෙම තියෙනවද? නෑ, අද නීතිය කාටත් සමානයි.
එතකොට අන්න, පැරණි නීතියෙන් වරප්රසාද ලබපු, නීතියේ රැකවරණය ලබපු, නීතිය ඉදිරියේ තමන්ට දඬුවම් ලැබෙනවායි කියලා හිතන අය මොකද කරන්නේ? ඒකට එරෙහිව කෑ ගහන්න පටන් ගන්නවා. මේකයි මේ තියෙන තත්ත්වය. ඉතින් නීතිය පිළිබඳව අවසන් වගකිවයුත්තා කවුද? පාර්ලිමේන්තුව පනත් හදලා දෙනවා. නීතිපති දෙපාර්තමේන්තුව, අල්ලස් කොමිසම ඒ පනත්වලට අනුව නඩු දානවා. ඒ නඩුවලට අවශ්ය පරීක්ෂණ ටික අල්ලස් කොමිසම, CID එක, පොලීසිය කරලා දෙනවා. අවසානයේදී ඒ නීතිය ක්රියාත්මක කරලා දඬුවම් නියම කරන්නේ කවුද? අධිකරණය. ඒ අධිකරණයේදීත් අවසානයේ නීතිය පිළිබඳ නිගමනයක් දෙන්නේ කවුද? ශ්රේෂ්ඨාධිකරණය. ඉතින් ශ්රේෂ්ඨාධිකරණය තීන්දුවක් දෙනවා. තීන්දුවක් දුන්නම, නෑ ඒක අයින් කරන්න කියලා කෑ ගහනවා. එතකොට කොහෙද මේ නීතිය තියෙන්නේ? එහෙම නීතියක් තියෙන්න බෑ රටක.
ඒ නිසා මතක තබාගන්න, ඒ ආයතනවලට අපි නීතිය ක්රියාත්මක කිරීම සඳහා අවශ්ය බලය දීලා තිබෙනවා. අපි විශ්වාස කරන්නේ අධිකරණ පද්ධතිය විසින් ලබාදෙන තීරණ තමයි මේ රටේ නීතිය පිළිබඳ නිවැරදි තීරණ ලෙස. සලකන්නේ නෑ කියලා කෑ ගහන්න පුළුවන්. හැබැයි අපි සලකනවා, අවසානයේ ශ්රේෂ්ඨාධිකරණය විසින් ලබාදී තිබෙන නිගමනයකට තමයි අපි යටත් වෙන්නේ. අධිකරණය ලබාදී තිබෙන තීරණයට අපි යටත් වෙනවා. එතැනින් එහා, කවුරුවත් අපෙන් වෙන තීරණ බලාපොරොත්තු වෙන්න එපා. මොකද කියන්නේ? එහෙම ඕනැද? අන්න එතකොට තමයි දරුවන්ට රැකවරණයක් තියෙන රටක් හැදෙන්නේ.
මත්ද්රව්ය උවදුර සහ පාතාලය මුලිනුපුටා දැමීම
ඊළඟට මේ නීතිය වල්වැදීමේ ප්රතිවිපාක හැටියට මොකද වුණේ? අපේ රටේ පාතාලය, කුඩු ව්යාප්ත වෙන්න පටන් ගත්තා. මේවා නීතිය ක්රියාත්මක නොවීමේ ප්රතිඵල. නීතිය ලොකු අයට ක්රියාත්මක වෙන්නේ නැතුව ගියා. නීතිය ආරක්ෂාව දුන්නා. කුඩු අල්ලපු වහාම මත්ද්රව්ය කාරයන්ව ගිහින් බදා ගන්නවා. සමහරු කියනවා මේ කුඩු ව්යාපාරිකයින් අපිත් එක්ක කියලා. මේ කුඩු ආරක්ෂා කරන දේශපාලන අධිකාරියට ඒගොල්ලෝ ඡන්දයට සල්ලි පොම්ප කරනවා. ඒගොල්ලෝ ඡන්දයට වාහන දෙනවා. ඒගොල්ලෝ ඡන්දයට කෑගහන්න පටන් ගන්නවා. විශාල දේශපාලන රැකවරණයක් සමඟ මේ කුඩු සහ අපරාධ කල්ලි වර්ධනය වුණා.
අද මොකද වෙලා තියෙන්නේ? මත්ද්රව්ය ඈත ගම් නියම් ගම් දක්වා පැතිරෙමින් තිබෙනවා. ඒ නිසා අපේ දරුවන් ගිලගන්න මහා රකුසෙක් අපේ මේ සමාජයේ අද සැරිසරනවා. ඒ රකුසා වෙන කවුරුත් නෙමෙයි මත්ද්රව්ය. මං ගාව තියෙනවා වාර්තා, මේ පස්වෙනිදා අපි නිදහස් කරන්න බලාපොරොත්තු වෙනවා. පාසල් දරුවන් කොච්චර ප්රමාණයක් අපි අත්අඩංගුවට අරන් තියෙනවාද? ඉගෙන ගන්න දැරියන් අපි අත්අඩංගුවට අරන් තියෙනවා. අපි පිළිගන්න, මහා ගෞරවයට භාජනය වුණු ආයතනවල, සංස්ථාවල කට්ටිය අත්අඩංගුවට පත්වෙලා තිබෙනවා. අපේ ගෞරවයට භාජනය වෙච්ච ස්ථානවල අයත් මේ මත්ද්රව්ය උවදුරේ අද ගොදුරු බවට පත්වී තිබෙනවා.
මුළු සමාජයම ඛේදවාචකයක් බවට පත්වෙලා තිබුණේ. පොලීසිය අතළොස්සකගේ ගොදුරක් බවට පත්වෙලා තිබෙනවා. RMV එකේ, මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේත් එහෙමයි. Immigration (ආගමන විගමන) එකේත් එහෙමයි. Custom (රේගුව) එකේත් එහෙමයි. කුඩා කණ්ඩායමක්. ඒ නිසා මේ රාජ්ය පාලනය මෙහෙම තියෙන ගමන්, යටින් වෙනම රාජ්යයක් තියෙනවා. ඒ පාතාල කාරයාට පුළුවන් පාස්පෝට් කාර්යාලයට ගිහිල්ලා පාස්පෝට් තුන හතරක් හදාගන්න. ඒ කුඩු ව්යාපාරිකයාට පුළුවන් RMV එකට ගිහිල්ලා එකම වාහනයට අංක තහඩු හතරක් පහක් ගන්න. ඒ කුඩු ව්යාපාරිකයාට පුළුවන් රේගුවට ගිහිල්ලා තමන්ගේ කුඩු කන්ටේනරය පන්න ගන්න. මෙහෙම වෙලා තියෙනවා. ඇයි? මේ ජාලය මෙහෙම තියෙනවා. මේ ජාලය මේ දක්වා වර්ධනය වෙලා තිබෙනවා.
දැන් මම අහනවා මෙතන ඉන්න අපේ අම්මලාගෙන්, සහෝදරියන්ගෙන්. තමන්ගේ දරුවන්ට එහෙම සමාජයක රැකවරණයක් තියෙනවද? තමන්ගේ දරුවා මොනතරම් තමන්ගේ ගෙදර ආරක්ෂා කර ගත්තත්, එක අවධියක් එනවා දරුවා සමාජයට මුදා හරින්න වෙනවා. අම්මා පිටිපස්සෙන් ගියපු කාලේ අවසන් කරන්න වෙනවා. තාත්තා සුරතල් කරපු කාලේ අවසන් කරන්න වෙනවා. සමාජයට දරුවා ස්වයං දරුවෙක් හැටියට නිදහස් කරන්න වෙනවා. හැබැයි නිදහස් කරන සමාජය කුඩු, අපරාධ, පාතාලයෙන් පිරිලා තියෙනවා. දැන් මොකද කරන්න ඕනෑ?
අපේ ආණ්ඩුව ගිය අවුරුද්දේ පටන් ගත්තා මේ ව්යාපාරය, මේ කුඩු ව්යාපාරය මුළුමනින් උපුටා දැමීමේ ව්යාපාරයක්. රටම එකට එකතු වෙන මත්ද්රව්ය විනාශ කිරීමේ ව්යාපාරයක්. ඒකෙ ප්රතිඵලය මොකක් වුණාද? ගිය අවුරුද්දේ ඔක්තෝබර් මාසෙ 30 වෙනිදා ඉඳන් මේ වෙනකොට, අවුරුද්දයි, අපි හෙරොයින් කිලෝග්රෑම් 2,484ක් අත්අඩංගුවට අරන් තියෙනවා. සාමාන්යයෙන් පොහොර මිටියක් කියලා කියන්නේ කිලෝග්රෑම් පනහයිනේ. දැන් කිලෝග්රෑම් 2,484ක් කියන්නේ හිතන්න පොහොර මිටි කොච්චරක් වගේද කියලා. කිලෝග්රෑම් දාහක් කියන්නේ විස්සක්. දෙදාහක් කියන්නේ හතළිහක්. පන්සියයක් කියන්නේ දහයක්. ඒ කියන්නේ ආසන්න වශයෙන් ගත්තොත් පොහොර මිටි පනහක් හැටක් වගේ කුඩු. හිතන්න මොන තරම් ව්යසනයක්ද තියෙන්නේ අපේ ඉස්සරහා. සාමාන්යයෙන් කුඩු පැකට් එකක් කියලා කියන්නේ කන් හැන්දෙන් භාගයක්. පොහොර මිටි හැටක කුඩු කන් හැන්දෙන් භාගය භාගය හිතන්න. කොච්චර විනාශයක් සිද්ධ වෙලා තියෙනවද? මේ අත්අඩංගුවට ගත්ත ප්රමාණය මුළු ප්රමාණය නෙවෙයි.
අපි අයිස් කිලෝ 3,301ක් අත්අඩංගුවට ගත්තා ඊයේ වෙනකොට. දාහක් කියන්නේ පොහොර මිටි විස්සක් නම්, තුන්දාහක් කියන්නේ හැටක්. තුන්සියයක් කියන්නේ හයක්. හැට හයක්. පොහොර මිටි හැට හයක කුඩු. ඒ කියන්නේ ඔය ලොරි එනවනේ පොහොර පටවන, ලොරියක් තරම් කුඩු හිතන්න. රට කොතැනද තියෙන්නේ? කොකේන් අත්අඩංගුවට ගත්තා කිලෝග්රෑම් දෙසිය අනූ හතක්. ඒක ටිකක් උඩ ඉන්න අය ගාන එකක්. හරිද? ඒකත් පොහොර මිටි හයක් වගේ අත්අඩංගුවට අරන් තියෙනවා මේ අවුරුද්දක් ඇතුළත. එහෙනම් මොකක්ද සිද්ධ වෙලා තිබෙන්නේ? රට මේ මත්ද්රව්යවලින් විශාල ව්යසනයක් දක්වා වර්ධනය වෙලා තිබෙනවා.
මත්ද්රව්ය විතරක් නෙමෙයි. ඒ හා බැඳුණු සන්නද්ධ අපරාධකරුවන් ඉන්නවා. ඔවුන් ගාව අවි ආයුධ තියෙනවා. තැන තැන වෙඩි තියාගන්නවා. මරාගන්නවා. අපි අත්අඩංගුවට ගත්තා ටී-56 ප්රධාන ස්වයංක්රීය ගිනි අවි අනූ තුනක්. පිස්තෝල එකසිය හතළිහක් මේ අවුරුද්ද ඇතුළත අත්අඩංගුවට ගත්තා. රිවෝල්වර එකසිය පහක් අත්අඩංගුවට ගත්තා. මොකක්ද අපේ දරුවෝ නිදහස් කරන්න තියෙන රට? අපරාධවලින් ගහන රටක්. අදත් එක්කෙනෙක් අත්අඩංගුවට ගත්තා අපි. එයා ගාවත් තියෙනවා රිවෝල්වර, පිස්තෝල මේ ආදී ප්රමාණයක්. ඒ අත්අඩංගුවට ගත්ත එයාගේ වීඩියෝ දර්ශනයක් තියෙනවා, එයා සෙල්ලමට මිනිස්සුන්ට වෙඩි තියෙනවා. එහෙම වෙලා තියෙනවා බැලුම්මහර පැත්තේ, එහෙම නැත්නම් කිරිඳිවැල පැත්තේ. මේ තමයි මේ රට තියෙන්නේ. දැන් මොකද කරන්න ඕනෑ? අපේ දරුවන්ට ආරක්ෂාව, රැකවරණය සහිත රටක් හදනවා නම් මත්ද්රව්ය සහ පාතාලය අපි විනාශ කරන්න ඕනෑ. කරන්න ඕනද නැද්ද? කරන්න ඕනෑ.
හැබැයි කරන් යනකොට මොකද වෙන්නේ? ඒ මත්ද්රව්ය ජාලයෙන් රැකවරණ ලැබූ අය, ඒ පාතාලයෙන් රැකවරණ ලැබූ අය, මුදල් ලැබුණු අය, වාහන ලැබුණු අය, ගෙවල් ලැබුණු අය ඉන්නවා. තියෙනවා එහෙම ලැයිස්තුවක්. ඒගොල්ලෝ කලබල වෙනවා. කලබල වෙලා කියනවා, "එන්.පී.පී (NPP) ආණ්ඩුවට වැඩිදුරක් යන්න දෙන්න හොඳ නෑ". ඇයි? ඒගොල්ලෝ අත්අඩංගුවට පත්වෙනවා. ඒකයි මේ කලබලය ඇති කරන්නේ. ගම්වල කලබලය නැති වුණාට උඩින් කෘත්රිම කලබලයක් ඇති කරනවා මාධ්ය නාලිකා දෙකක් උපයෝගී කරගෙන. ඒ නාලිකාවලට සමහරවිට මේ චෝදනා එල්ල වූ ඉතිහාසයක් තිබුණා. මතක තියාගන්න, එහෙමයි. නිකම් අහන්න නෙමෙයි. මේ චෝදනා එල්ල වුණු ඉතිහාසයක් තිබුණා.
මට මතකයි හිටපු පොලිස් මාධ්ය ප්රකාශකයා කෙලින්ම එක මාධ්ය නාලිකාවක හිමිකරුවෙක්, ඔහුගේ ඥාතියෙක්, ඔහුගේ සොහොයුරා වෙලේසුදාගෙන් සල්ලි ගත්ත බව ප්රකාශ කළා. පරීක්ෂණයට කැඳවලා. මේ අපේ ආණ්ඩුව කරන කාලෙ නෙමෙයි, කලින්ම. වෙලේසුදාගෙන් සල්ලි ගත්ත බව මාධ්ය සාකච්ඡාවකදී කිව්වා. ඉතින් ඔය ඔක්කොම මේ අපරාධවලට සම්බන්ධ ජාලය. ඒකෙ දේශපාලකයෝ හිටියා. ඒකෙ කළු ව්යාපාරිකයෝ ඉන්නවා. ඒකෙ පාතාලය ඉන්නවා. ඒකෙ මාධ්ය නාලිකා එකක් දෙකක් ඉන්නවා. හොඳට මතක තියාගන්න. ඒගොල්ලන්ට අවශ්යයි මේ පාතාලයට, මේ කුඩු ව්යාපාරයට එරෙහිව යන මෙහෙයුම නතර කරන්න. ඇයි නතර කරන්න ඕන වෙන්නේ? ඒගොල්ලන්ගේ පැවැත්මට තර්ජනයක් වෙනවා. අන්න ඒගොල්ලෝ මොකද කරන්නේ? යම් ප්රමාණයකට කලබල කරන්න පටන් අරන් තියෙන්නේ.
ජාතික සමගිය සහ ජාතිවාදය පරාජය කිරීම
ඊළඟට දරුවන් වෙනුවෙන් අපේක්ෂා කරන අපේ අම්මලා තාත්තලා, අධ්යාපනය, නීතිය සහිත රටක්, කුඩු අපරාධවලින් තොර රටක් වගේම ඊළඟ ප්රධාන දේ තමයි අපේ දරුවන්ට අවශ්යයි අනාගතයේ ගැටුම්කාරීත්වයක් ඇති නොවන රටක්.
අපේ රට අවුරුදු තිහක් අඛණ්ඩ යුද්ධයක හිටියා. ඒ යුද්ධයේ විශේෂයෙන්ම මේ බදුල්ල, මහියංගනය ප්රදේශයේ අම්මලා තාත්තලාගේ දරුවෝ යුද්ධයට ගිහිල්ලා මිය ගියා මේ රට වෙනුවෙන්. අපිට මතකයි අදට අවුරුදු පහ හත අටකට කලින් ගත්තහම මේ ගොඩක් තැන්වල බස් නැවතුම්පළවල් හැදුවේ කවුද? මියගිය රණවිරුවෙක්ගේ නමින් බස් නැවතුම්පළක් තිබුණා. තිබුණේ නැද්ද? ඡායාරූප ගහලා. කනත්තට ගිහිල්ලා බලපුවහම ලොකුම සොහොන තිබුණේ කාගෙද? උතුරේ යුද්ධයට ගිහින් මියගිය අපේ අම්මලා තාත්තලාගේ දරුවන්ගේ. ඉතින් අපි යළි රටක් හදනවා නම් මොකටද? මේ රටේ පුරවැසියන්, තරුණ තරුණියන් එකිනෙකා ඇන කොටා ගන්නේ නැති රටක් අපි හදන්න ඕනෑ. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ ඔක්කොම අපි එකට සහෝදරත්වයෙන් ජීවත් වෙන රටක් හදන්න ඕනෑ. උතුරෙත් මියගියා, දකුණෙත් මියගියා. අපි දරුවන්ට සැබෑ ලෙස ආදරය කරනවා කියන්නේ මොකක්ද? නැවත ඇනකොටාගන්න රටක්ද අපිට ඕනෑ? නැවත එකිනෙකා අතර වෛරයෙන්, කෝපයෙන් බලන රටක්ද අපිට ඕනෑ? නෑ. අපිට ඕනෑ මොකක්ද? ජාතික සමගිය තියෙන රටක්.
සිංහල, දෙමළ, මුස්ලිම් භේදයකින් තොරව අපි කවුරුත් අපේ දරුවන් සහෝදරත්වයෙන් එකට ජීවත් වෙන රටක් ඕනෑ. හැබැයි මොකද වෙන්නේ? අමාරුයි ඒක හදන්න. පැරණි බලවේග ඉන්නවා. ඒගොල්ලන්ට තියෙන එකම රැකවරණය මොකක්ද? ප්රජාතන්ත්රවාදය ගැන කතා කරන්න බෑ. ඒගොල්ලන්ගේ ප්රජාතන්ත්රවාදී ඉතිහාසය ජනතාව දන්නවා. ආර්ථික වර්ධනය ගැන කතා කරන්න බෑ. ගෑස්, ඩීසල්, විදුලිය නැති කරපු ඉතිහාසය ජනතාව දන්නවා. ඒගොල්ලන්ට වංචාව දූෂණය ගැන කතා කරන්න බෑ. එයාර් ලංකා වලින්, මහ බැංකුවලින් ගසාකාපු ඉතිහාසය ජනතාව දන්නවා. ඒගොල්ලන්ට අපේ රටේ අධ්යාපනය ගැන කතා කරන්න බෑ. ඒකට කරපු විනාශය රටේ ජනතාව දන්නවා. ඒගොල්ලෝ ඇවිල්ලා කතා කරන්නේ මොකක්ද? "ජාතිය බේරගන්න ඕනෑ, ජාතිය අනතුරේ." ඔච්චරයි. මතක තියාගන්න, මේ ලාංකීය ජාතිය අනතුරට නොවැටෙන්න, මේ රට පාලනය කිරීමත්, අනාගතයට ගෙනයාමත් ජාතික ජන බලවේගයේ, අපේ වගකීමක්. අපි ඒක ඉටු කරනවා.
හැබැයි මොකද කරන්නේ? අර අලුත් ජාතික සමගියට ඔරොත්තු දෙන්නේ නැති කණ්ඩායමක් ඉන්නවා. ඒගොල්ලන්ට ඕනෑ යළි කවර වර්ගයේ හෝ ජාතිවාදයක් අවුස්සන්න. ගැටුමක් හදන්න. උතුරෙත් ඉන්නවා පැරණි දේශපාලන ව්යාපාර. ඒගොල්ලොත් මොකද කරන්නේ? ඒගොල්ලන්ට වෙන මාතෘකාවක් නෑ උතුරේ. ලංකා ඉතිහාසයේ පළමු වතාවට උතුරේ, පහුගිය මැතිවරණයේදී යාපනය දිස්ත්රික්කයේ ජනතාව ජාතික ජන බලවේගය ජයග්රහණය කෙරෙව්වා. වන්නිය ජයග්රහණය කළා. ත්රිකුණාමලය ජයග්රහණය කළා, නැගෙනහිර. මෙහෙමයි. ඒ කියන්නේ මොකක්ද? උතුරේ ජනතාව, දැන් යාපනය දිස්ත්රික්කය කියන්නේ කිලිනොච්චිය සහ අනෙක් ආසන, අපි දිනුවේ. වන්නි දිස්ත්රික්කය කියලා කියන්නේ මුලතිව්, මන්නාරම, වවුනියාව, ඒ දිනුවේ අපි. ජාතික ජන බලවේගය කියන්නේ මොකක්ද?
උතුරේද නැගෙනහිරද භේදයකින් තොරව ඒ ජීවත් වන ජනතාව අද ජාතික ජන බලවේගය ගැන විශ්වාසය තබලා තියෙනවා. ලංකාවේ පළමු වතාවට උතුර, නැගෙනහිර, දකුණ, මේ කඳුකරය, නුවරඑළිය අපි ජයග්රහණය කරනවා. බදුල්ල අපි ජයග්රහණය කරනවා. මේ සියලු ජනතාව විශ්වාස කළා මේ පක්ෂය, මේ ව්යාපාරය. මොකක් වෙනුවෙන්ද? හැම කෙනාටම ආරක්ෂිත රටක්, හැම කෙනාටම තමන්ගේ සංස්කෘතික අනන්යතාවයන් සහිතව ගෞරවයෙන් යුතුව ජීවත් වෙන්න පුළුවන් රටක් අපේක්ෂා කළා. අපි ඒක හදනවා. හදන් එනකොට, අන්න පැරණි ජාතිවාදී පිල්ලි නැගිටිනවා. මේකයි තියෙන අනතුර. මේකයි තියෙන කලබලය. පැරණි ජාතිවාදී පිල්ලි නැගිටිනවා. මතක තියාගන්න, ඒ කිසිදු පිල්ලියකට යළි මේ රටේ දේශපාලන බලය නෙවෙයි, අඟලකින්වත් උඩට එන්න ඉඩ දෙන්නේ නැති බව මේ රටේ ජනතාව විශ්වාස කරනවා. අපි ඉඩ දෙන්නෙත් නෑ. දෙනවද ජාතිවාදයට ආපහු හිස ඔසවන්න? දෙනවද යළි ආගම්වාදයක් නැගිටින්න අපේ රටේ? අපි නතර කරන්න ඕනෑ පැරණි දේශපාලනය. අපේ රටේ යුද්ධ හදපු දේශපාලනය. අපේ රටේ තරුණ තරුණියන් දහස් ගණනක් මරා දමපු දේශපාලනය. ඒක වෙනස් කරනවා අපි. වෙනස් කරනකොට මොකද කරන්නේ? අන්න පැරණි ජාතිවාදී පිල්ලි නැගිටින්න පටන් අරන් තියෙනවා.
දූෂණය තුරන් කිරීම සහ ජනතා බලය තහවුරු කිරීම
ඒ නිසා අපි එහෙම පැති කිහිපයකින් ගත්තොත්, අධ්යාපනය හදනකොට පැරණි පිල්ලි කලබල කරනවා. මත්ද්රව්ය, කුඩුවලට එරෙහිව යනකොට පැරණි පිල්ලි කලබල කරනවා. ජාතික සමගිය හදනකොට ජාතිවාදී පිල්ලි කලබල කරනවා. ඒකනේ වෙලා තියෙන්නේ. නීතිය ස්ථාපිත කරනකොට නීතියෙන් රැකවරණ ලැබූ පිල්ලි කලබල කරනවා. මේකයි අද තත්ත්වය. හැබැයි මතක තබාගන්න, ඒ කලබලවලට මාධ්ය නාලිකාවක් දෙකක් ඉන්නවා, ඔය පරණම පිල්ලි ටික ඉන්නවා, ඒ වුණාට මේ රටේ පොදු ජනයා නෑ. මේ රටේ පොදු ජනතාව ඉන්නේ ජාතික ජන බලවේගයත් එක්ක. අද බදුල්ල මේ නගරයට දස දහස් සංඛ්යාත කාන්තාවන් එකතු වෙලා මේ කියාපාන්නේ, "මේ ආණ්ඩුව තමයි අපේ රටේ අනාගතය, මේ ආණ්ඩුව තමයි අපේ රටේ දරුවන්ගේ සුරක්ෂිතභාවය" කියන පණිවිඩය තමයි මේ ලබා දෙන්නේ.
ඒ නිසා අපිට නිකන්ම ආණ්ඩුකරණය කරන්න බෑ. ඉස්සර කට්ටියට ආණ්ඩුව අරගෙන ආණ්ඩු කරගෙන යන්න පුළුවන් වුණා. දැන් බෑ. දැන් මොකද කරන්න ඕනෑ? දැන් අපි ආණ්ඩුව කරන ගමන්ම අර එරෙහි වෙන පිල්ලිවල කුමන්ත්රණ පරාද කරන්න ඕනෑ. ඒ කුමන්ත්රණ පරාද කරන්න ඕනෑ. මේ රටේ ජනතාව ජනතාවාදී ආණ්ඩුවක් හදලා තියෙනවා. ජනතාවගේ න්යායපත්රයට වැඩකරමින් තිබෙනවා. ජනතාවගේ වුවමනාවන් වෙනුවෙන් කටයුතු කරමින් තිබෙනවා. දැන් මොකක්ද කරමින් තිබෙන්නේ? ඒකට එරෙහිව කුමන්ත්රණ ක්රියාත්මක කරන්න උත්සාහ කරනවා. මතක තබාගන්න, අනෙක් හැම ආණ්ඩුවක්ම ඒ කුමන්ත්රණවලට යට වෙන්න පුළුවන්. කුමන්ත්රණවලට ගොදුරු වෙන්න පුළුවන්. හැබැයි ජාතික ජන බලවේගයේ ආණ්ඩුව එවැනි කිසිදු කුමන්ත්රණයකට ගොදුරු කරගන්න පුළුවන් ආණ්ඩුවක් නෙවෙයි.
ඒ වගේම අපේ දරුවන්ගේ අනාගතය විනාශ කරන්න ප්රධාන හේතුවක් වුණේ මේ වංචාව, දූෂණය, නාස්තිය. අපි එළියෙන් දැන් දැක්කට වඩා ඇතුළට ගිහිල්ලා බලපුවහම මහජනයාගේ ධනය කොච්චර නාස්ති කරලා තියෙනවද, කොච්චර විනාශ කරලා තියෙනවද, කොච්චර හොරකම් කරලා තියෙනවද කියලා පේනවා. ඇත්තටම හරියට පරීක්ෂණ කරොත් කවුරුවත් ඉතුරු වෙන්නෑ. මේකයි ඇත්ත තත්ත්වය. අපි වංචා දූෂණයට එරෙහිව ක්රියාත්මක වෙනවා. අත්අඩංගුවට ගන්නවා. පරීක්ෂණ පවත්වනවා. නඩු දානවා. අධිකරණයෙන් නඩු හරහා දඬුවම් ලබා දෙනවා. මේ වැඩේ අපි හරියට කරනවා. කරන්න ඕනද නැද්ද? මේක කරනවා. කවදා වෙනකම් කරනවද? මේ ඉතුරු අවුරුදු තුනේම කරනවා. ඊට පස්සේ ඊළඟ ඡන්දයෙන් පස්සෙත් කරනවා. මේක අපේ අවුරුදු දෙකෙන් ඉවර වෙන එකක් නෙමෙයි. සමහර ඒවාට වෙනත් රටවල් එක්ක සම්බන්ධයක් තියෙනවා. සමහර අය රටවලට පැනලා ගිහිල්ලා ඉන්නවා. ඒගොල්ලෝ ගේන්න හදන්න ඕනෑ. සමහර දේවල් ඒ රටවල බැංකු ගිණුම්වල විස්තර ගේන්න ඕනෑ. සමහර අය රටවලින් ඇවිල්ලා සාක්ෂි දෙන්න ඕනෑ. වැඩ ගොඩාක් තියෙනවා. ඒ නිසා මේ රටේ වංචා දූෂණය තුරන් කරනවා විතරක් නෙමෙයි, මේ රටේ මහාජනයාගේ දේපළ හොරකම් කරපු හැම කෙනාවම නීතිය ඉදිරියට පමුණුවලා දඬුවම් ලබාදෙනවා. ඒක අපි කරනවා.
එතකොට කලබල වෙනවා. මතක තියාගන්න, තව කලබල වෙන්න ඕනෑ මේගොල්ලෝ. ඇයි? ඒගොල්ලෝ හිතුවෙ මොකක්ද? ඒගොල්ලෝ හැමදාම හිතුවා මේ ඔන්චිල්ලාව ඒ පැත්තට යනවා, ආයෙ මේ පැත්තට එනවා කියලා. දෙපැත්තට මේ ඔන්චිල්ලාව ගැස්සි ගැස්සි තිබ්බා නේ. අර පැත්තට යනකොට කට්ටියක් නැග්ගා. මේ පැත්තට එනකොට අර හිටපු කට්ටියම ආයෙ නැගලා මේ පැත්තට ආවා. එහෙමයි ආවේ, හොඳේ. අලුත්ම කට්ටියක් ආවේ නැහැ. මේ බදුල්ලේ නායකයා ඒ පැත්තට යනකොට ඒ පැත්තට, මේ පැත්තට එනකොට මේ පැත්තට ගියා. බදුල්ලේ දැන්නම් නැද්ද කොහෙද නේද? හරි. එහෙම තමයි හිටියේ. ඒගොල්ලෝ ඔන්චිල්ලාවේ දෙපැත්තටම එල්ලි එල්ලී හිටියා. මෙහෙමයි මේක තිබුණේ. බෙදාගෙන ලස්සනට හිටියා මේ කණ්ඩායම. හැබැයි අද මොකද වෙලා තියෙන්නේ? ඒගොල්ලෝ නොසිතූ දෙයක් වෙලා තියෙනවා. ඒගොල්ලොගෙ තොටිල්ල පැද්දෙන්න පටන් අරන් තියෙනවා, ගැස්සෙන්න පටන් අරන් තියෙනවා. ඒගොල්ලෝ හිතුවෙ නෑ මෙහෙම තත්ත්වයක් කවදාවත් ඒවි කියලා. ඒගොල්ලෝ හිතුවෙ නෑ ඒගොල්ලන්ගේ වංචා දූෂණ පිටුපස හඹාගෙන එන පාලනයක් හැදෙයි කියලා. දැන් හැදිලා තියෙනවා. අන්න එතකොට කලබල වෙනවා. කුමන්ත්රණ ඇති කරනවා. මේක තමයි අද සමාජයේ තියෙන තත්ත්වය.
ඒ නිසා මම හිතන්නේ අපිට කරන්න තියෙනවා දේශපාලනයක්. අපි ආණ්ඩුව කරන්නම්, අපේ සමන්ත සහෝදරයා කිව්වා වගේම අපි ආර්ථිකය හදන්නම්. අපි සෞඛ්ය ක්ෂේත්රය, පාරවල්, පාලම්, නිවාස, මේ සඳහා විශාල වැඩකොටසක් අපි කරනවා. ඒක අපි වෙන දවසක කතා කරමු. හැබැයි අපි ආණ්ඩුව කරනවා වගේම අපි දේශපාලනය කරන්න ඕනෑ. අපේ දේශපාලන වැඩේ තමයි, මෙන්න මේ කුමන්ත්රණකාරී දුෂ්ට බලවේගයන්ට යළි අපේ රටේ ගම්වල හිස ඔසවන්න දෙන්න බෑ. දෙනවද? ශක්තිමත් විදිහට ගම්වල අපේ ශාඛාව හදන්න ඕනෑ. ගම්වල වැඩ කරන්න ඕනෑ. ගම රැක බලාගන්න ඕනෑ. සංවර්ධන වැඩකටයුතුවල පාර හදනකොට පාර හරියට හදනවද කියලා බලන්න ඕනෑ. මේ විදිහට ශක්තිමත් පුරවැසි ව්යාපාරයක් හැටියට අපේ දේශපාලන ව්යාපාරය පරිවර්තනය කරන්න ඕනෑ.
අද අපි රටපුරා ආණ්ඩුව කරන ගමන් මාසයකට දෙපාරක් තුන්පාරක් වගේ මේ විදිහට එනවා. ඇවිල්ලා මොකද කරන්නේ? වෙලා තියෙන දේ ගැන කතා කරනවා. තියෙන වගකීම ගැන කතා කරනවා. මේ මාසේ අග, මම හිතන්නේ අපේ විද්වත් සංවිධානයේ සමුළුවක් තියෙනවා. නොවැම්බර් මාසේ හත්වැනිදා අපි වෘත්තීය සමිති එකතු කරලා සමුළුවක් තියෙනවා. ඊට පස්සේ අපේ තරුණ ව්යාපාර එකතු කරමු. එකතු කරලා දේශපාලන පෙරමුණ ශක්තිමත් කරන්න ඕනෑ. මොකද අපිට තියෙන්නේ හුදු ආණ්ඩුව කිරීමක් විතරක් නෙමෙයි. අපිට ආණ්ඩුවට එන ප්රතිරෝධය විතරක් නෙමෙයි, දේශපාලන ගැටුමක් තියෙනවා මෙතැන. පැරණි විනාශකාරී දේශපාලන කණ්ඩායම විවිධාකාරයෙන් කුමන්ත්රණකාරී ලෙස බලය අත්පත් කරගැනීම සඳහා දරන ප්රයත්නයක් තියෙනවා. ඉඩක් නෑ. හැබැයි ප්රයත්නයක් තියෙනවා. අන්න ඒකට එරෙහිව ශක්තිමත් ග්රාමීය වශයෙන් විහිදුණු ශක්තිමත් දේශපාලන ව්යාපාරයක් බවට ජාතික ජන බලවේගය අපි පරිවර්තනය කරලා තියෙනවා. මේක අපේ බලය. එක පැත්තකින් ආණ්ඩුවේ බලය තියෙනවා. ඒකෙන් අපි ආණ්ඩුව කරමු. අපි දේශපාලන බලය ගම්වලින් ශක්තිමත් කරගනිමු.
කාන්තා සහභාගීත්වයෙන් අනාගත ජයග්රහණය
ඒ වෙනුවෙන් විශේෂයෙන් හැමදාමත් අපිට ශක්තිය දුන්නේ, ධෛර්යය ගෙනැත් දුන්නේ අපේ කාන්තාවෝ, අපේ සහෝදරියන්. මම හිතනවා අපේ ආණ්ඩුව පිළිබඳව පහුගිය 2024 ජනාධිපති ඡන්දයේදී දිනයිද නැද්ද කියලා සැකයක් තිබුණු කාලයක් තිබුණා. "ඔය කිව්වට ජනතාව ඡන්දය දෙයිද නැද්ද දන්නේ නෑ. ඔය කිව්වට දිනන්න පුළුවන් වෙයිද බැරිද කියලා දන්නේ නෑ" කියලා සැකයක් තිබුණු කාලයක් තිබුණා. හැබැයි අපි මාතරින් පටන් ගත්තා, ගැහැනු අපි එක මිටට රැස්වීම. දහස් සංඛ්යාත කාන්තාවෝ ආවා. හැමදෙනාම කිව්වා, "කාන්තාවෝ ආවා කියන්නේ දිනුවා තමයි" කියලා. මේක බොරු කතාවක් නෙමෙයි. මේක තමයි අපේ රටේ දේශපාලන සංඥාව. සහෝදරියන් කොයි දිසාවටද, ඒ දිසාව තමයි ජයග්රහණය කරන්නේ.
ඒ නිසා අද මේ ශක්තිමත් කාන්තා ව්යාපාරය, ශක්තිමත් කාන්තා හඬ, ශක්තිමත් කාන්තා සංවිධාන ජාලය, ශක්තිමත් කාන්තාවෝ, අපේ අගමැතිතුමිය, අපේ කාන්තා ඇමතිතුමිය, අපේ අම්බිකා සහෝදරිය, අපේ විධායක සභාව නියෝජනය කරන සහෝදරියන් වගේම මේ ගම්වල, පළාත්වල ශක්තිමත් කණ්ඩායම අපිත් එක්ක ඉන්නවා. ඒ නිසා මම හිතනවා මේ බලය ආයෙ හොල්ලන්න පුළුවන් බලයක් නෙමෙයි මේ සහෝදරියන් අපිත් එක්ක ඉන්න තාක්කල්.
ඒ නිසා අපි ඔක්කොම ගිහිල්ලා ගම්වල එකතු වෙලා ශක්තිමත් ව්යාපාරයක් හදමු. ඒ වෙනුවෙන් අපි හැමදෙනාම මැදිහත් වෙමු කියලා ආරාධනා කරමින් මම නතර වෙනවා. ඔබ සියලු දෙනාටම ජය වේවා කියලා ප්රාර්ථනා කරනවා!