යතුරුපැදිකරුවන්ගේ සහ පසුපැදිකරුවන්ගේ ජීවිත දැඩි අවදානමකට ලක් කරමින් වෙළෙඳපොළේ අලෙවි වෙමින් තිබූ ප්‍රමිතියෙන් තොර යතුරුපැදි හිස්වැසුම් 758කට අධික ප්‍රමාණයක් නීතියේ රැහැනට කොටු කරගැනීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබේ. ඒ, ජූලි සහ ඔක්තෝබර් මාසවලදී දිවයින පුරා සිදුකළ විශේෂ වැටලීම් 182ක ප්‍රතිඵලයක් වශයෙනි.
පාරිභෝගික අධිකාරිය පෙන්වා දෙන පරිදි, ඔක්තෝබර් මාසයේදී පමණක් දිවයින පුරා විශේෂ වැටලීම් 84ක් ක්‍රියාත්මක කර ඇති අතර, එහිදී එස්.එල්.එස්. (SLS) ප්‍රමිති සහතික ලාංඡනය නොමැති හිස්වැසුම් 327ක් නඩු භාණ්ඩ ලෙස අධිකාරිය භාරයට ගෙන ඇත. මෙම වැටලීම්වලදී බලධාරීන්ගේ විශේෂ නිරීක්ෂණයකට ලක්වූ කරුණක් වූයේ, එකම හෝ සමාන වෙළෙඳ නාම සහිත ප්‍රමිතියෙන් තොර හිස්වැසුම් දිස්ත්‍රික්ක කිහිපයකින්ම නැවත නැවතත් හමුවීමයි.
මෙම තත්ත්වය හමුවේ හුදෙක් සිල්ලර වෙළෙඳුන්ට එරෙහිව නීතිමය පියවර ගෙන පමණක් නිහඬ වීමට පාරිභෝගික අධිකාරිය සූදානම් නැත. මේ වන විටත් ඔවුන් සිය විමර්ශන පුළුල් කර ඇති අතර, සැපයුම්කරු, බෙදාහරින්නා, ආනයනකරු සහ නිෂ්පාදකයා දක්වාම සැපයුම් ජාලය ඔස්සේ දැඩි නීතිමය පියවර ගැනීමට කටයුතු කරමින් සිටියි. නිසි බිල්පත් නොමැතිව මෙන්ම නිෂ්පාදකයා සහ සැපයුම්කරු කවුරුන්දැයි හඳුනාගත නොහැකි අයුරින් අලෙවි කරන හිස්වැසුම් සම්බන්ධයෙන් ද අදාළ නීති යටතේ දැඩි පියවර ගැනෙනු ඇත.
මෙහිදී වඩාත් අවධානය යොමු කළ යුතු තවත් බරපතළ කරුණක් වන්නේ, ළමා සහ කුඩා ප්‍රමාණයේ හිස්වැසුම් අතර ද එස්.එල්.එස්. ලාංඡනය නොමැති නිෂ්පාදන හඳුනාගෙන තිබීමයි. දරුවන්ගේ භාවිතයට හෝ වෙනත් වාහන භාවිතය සඳහා ආරක්ෂිත හිස්වැසුම් ලෙස මේවා වෙළෙඳපොළට නිකුත් කරන්නේ නම්, ඒවා ද අනිවාර්යයෙන්ම SLS 517 ප්‍රමිතියට අදාළව පරීක්ෂාවට ලක් කෙරෙන බව අධිකාරිය අවධාරණය කරයි.
වලංගු SLS ප්‍රමිති සහතික බලපත්‍රයක් නොමැතිව යතුරුපැදි ආරක්ෂිත හිස්වැසුම් නිෂ්පාදනය නොකරන ලෙස සියලුම නිෂ්පාදකයන්ට මේ වන විටත් දැඩි අවවාද ලබා දී තිබේ. ආනයනකරුවන්, බෙදාහරින්නන්, තොග හා සිල්ලර වෙළෙඳුන් මෙන්ම ජංගම වෙළෙඳුන්, මාර්ගගත (online) වෙළෙඳුන් සහ යතුරුපැදි අලෙවිසැල් හිමියන් ඇතුළු සියලුම වෙළෙඳ පාර්ශ්වයන් මෙම ප්‍රමිතියෙන් තොර හිස්වැසුම් ගබඩා කිරීම, ප්‍රදර්ශනය කිරීම, විකිණීම හෝ විකිණීමට ඉදිරිපත් කිරීමෙන් සම්පූර්ණයෙන්ම වැළකී සිටිය යුතුය.
යතුරුපැදිකරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක මෙම මෙහෙයුම අඛණ්ඩව ඉදිරියටත් ක්‍රියාත්මක වේ. හෙල්මට් වෙළෙඳපොළ ඉලක්ක කරගත් නිරීක්ෂණ හා විමර්ශන තවදුරටත් පුළුල් කරන බවත්, කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව විශේෂ වැටලීම් සිදුකරන බවත් බලධාරීහු පවසති. මේ අතර, එස්.එල්.එස්. ලාංඡනය නොමැතිව හිස්වැසුම් නිෂ්පාදනය කරන, බෙදාහරින හෝ අලෙවි කරන පුද්ගලයන් සහ ආයතන පිළිබඳව තොරතුරු දන්නේ නම්, කාර්යාල වේලාවන් තුළ '1977' කෙටි දුරකථන අංකය ඔස්සේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත දැනුම් දෙන ලෙස එම අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.