ගාල්ල ප්‍රදේශයේ ධනවත් කාන්තාවකගේ නිවසේ මෙහෙකාර සේවයේ නිරත වී සිටි කාන්තාවකට වායු රයිෆලයකින් වෙඩි වැදී ජීවිතක්ෂයට පත්වීමේ සිදුවීමක් සම්බන්ධයෙන් අදාළ නිවෙස් හිමි කාන්තාව පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. ගාල්ල මූලස්ථාන පොලිසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
මෙලෙස අවාසනාවන්ත ලෙස මරණයට පත්ව ඇත්තේ ගාල්ල, අම්බලන්වත්ත, මාමඩු ගොල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිකාරියක වූ ශිව සුබ්‍රමනියම් ශිව ලෙච්චමි නමැති 57 හැවිරිදි වියේ පසු වූ කාන්තාවකි. ඇය ගාල්ල මාගෙදර, ඇල්ල ඉහළ ප්‍රදේශයේ පිහිටි මෙම සැකකාර ධනවත් කාන්තාවගේ නිවසේ ගෘහ සේවිකාව ලෙස සේවය කරමින් සිට ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
පොලිසිය ප්‍රකාශ කරන ආකාරයට මෙම අනතුර සිදුව ඇත්තේ නිවෙස් හිමිකාරිය විසින් සිය නිවසේ තිබූ වායු රයිෆලය අතට ගත් අවස්ථාවකදීය. එහිදී එය හදිසියේම ක්‍රියාත්මක වී ඉන් පිටවූ වෙඩි උණ්ඩය අසල සිටි ගෘහ සේවිකාවගේ හිසට වැදීමෙන් ඇය බරපතළ ලෙස තුවාල ලබා ඇත.
තුවාල ලැබූ කාන්තාව ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 30 වැනිදා ජීවිතක්ෂයට පත්ව තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාරිය සහ අනතුරට හේතු වූ වායු රයිෆලය මේ වන විට පොලිස් භාරයේ පසුවන අතර, ගාල්ල මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කරනු ලබයි.