පසුගිය යහපාලන රජය සමයේ ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබා දීම පිටුපස වූ ප්‍රධානතම හේතුව හුදු දේශපාලනික කාරණයක් නොව, උන්වහන්සේගේ සිවුර ඉවත් කිරීමට යාමේදී මතුවිය හැකිව තිබූ බරපතළ ආගමික සහ විනය ගැටලුවක් බව එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙළි කරයි. අද (10) කොළඹ මල්පාරේ පිහිටි සිය දේශපාලන කාර්යාලයේදී පැවති එක්සත් ජාතික පක්ෂ නීතීඥ හමුවක් අමතමින් හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ එහි කටයුතුවලට බාධා කිරීමේ සිද්ධිය මුල් කරගනිමින් ඥානසාර හිමියන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය. එවකට එහි සිටි මහේස්ත්‍රාත් රංග දිසානායක මහතාගේ දැනුම් දීමකට අනුව ක්‍රියාත්මක වූ නීතිමය පියවරවලින් අනතුරුව, අභියාචනාධිකරණය මගින් උන්වහන්සේට සිරදඬුවම් නියම කරනු ලැබීය. කෙසේ වෙතත්, සිරදඬුවම් නියම වී බන්ධනාගාරගත කෙරුණු පළමු අවස්ථාවේදී උන්වහන්සේගේ සිවුර ඉවත් කිරීමක් සිදු නොවූ බව වික්‍රමසිංහ මහතා පෙන්වා දෙයි. ඊට හේතු වූයේ එවකට අධිකරණ ඇමතිවරිය වූ තලතා අතුකෝරළ මහත්මිය විසින් කොටපිටියේ රාහුල හිමියන් වෙත යවන ලද ලිපියක් මගින් ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් නොකරන බවට ලබා දී තිබූ ලිඛිත පොරොන්දුවකි. එම ලිපිය තමන් සතුව තවමත් පවතින බවද ඔහු මෙහිදී තහවුරු කළේය.
කෙසේ වෙතත්, මෙම තීරණාත්මක සිදුවීම වෙනත් දිශාවකට යොමු වන්නේ ඥානසාර හිමියන් බන්ධනාගාරගත වී වසරක් පමණ ගතවීමෙන් පසුවය. මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා හමුවීමට පැමිණි ඇතැම් භික්ෂූන් වහන්සේලා බෞද්ධ විනය පිටකයේ කරුණු ගෙනහැර දක්වමින් පැහැදිලි කර ඇත්තේ, අධිකරණයට අපහාස කිරීම බෞද්ධ භික්ෂුවක් පාරාජිකා වන තත්ත්වයේ වරදක් නොවන බවයි.
පාරාජිකා තත්ත්වයට පත් වූ විටෙක සිවුර ඉවත් කිරීම ප්‍රශ්නයක් නොවුණද, අධිකරණයට බාධා කිරීම පාරාජිකා ක්‍රියාවක් නොවන බැවින්, පාරාජිකා නොවන කාරණයකට සිවුර ඉවත් කළහොත් එය විශාල ප්‍රශ්නයක් බවට පත්වන බව සංඝයා වහන්සේලා පෙන්වා දී තිබේ. සාමාන්‍යයෙන් එවැනි සිදුවීමකදී අදාළ නිකායේ හෝ පාර්ශවයේ කාරක සභා මගින් භික්ෂුව කැඳවා අවවාද කිරීම හෝ භාවනා කිරීම සඳහා කල් ලබා දීමක් සිදු කරන බවද උන්වහන්සේලා පවසා ඇත. එසේම, සිවුර ඉවත් කිරීම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තියට පටහැනි බව පෙන්වා දී ඇති භික්ෂූන් වහන්සේලා, 1972 දී ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා විසින් "බුද්ධාගම ආරක්ෂා කිරීම" යන්න "බුද්ධ ශාසනය" ලෙස කපා සංශෝධනය කළ බවද එහිදී සිහිපත් කර තිබේ.
මෙම ආගමික සංකීර්ණත්වය හමුවේ, බුද්ධාගම සහ බුද්ධ ශාසනය පිළිබඳ වගකීම ජනාධිපතිවරයාට පවතින බැවින් ඒ පිළිබඳව එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සාකච්ඡා කරන ලෙස වික්‍රමසිංහ මහතා භික්ෂූන් වහන්සේලාට උපදෙස් දී ඇත. ඒ අනුව ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ලෙස තමන් සහ කැබිනට් මණ්ඩලයේ සෙසු ඇමතිවරුන් අතරද මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ.
ඔවුන් හමුවේ තිබූ ප්‍රධාන ගැටලුව වූයේ වසරක් ගතවීමෙන් පසු ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා දිගටම බන්ධනාගාරයේ තබා ගන්නවාද, නැතහොත් වසරක් දඬුවම් විඳ ඇති බැවින් සමාව ලබා දී පිට කරනවාද යන්නයි. බන්ධනාගාරයේ තබාගෙන සිවුර ඉවත් කළහොත් එල්ල වන සියලු චෝදනා රජයේ ඇඟට වැටෙනු ඇති බව අගමැතිවරයා ලෙස තමන් පෙන්වා දුන් බව වික්‍රමසිංහ මහතා පවසයි. ඒ අනුව, ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තිය යටතේ ඥානසාර හිමියන්ට සමාව ලබා දී නිදහස් කිරීමට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා තීරණය කර තිබේ.
සිරකරුවන්ට සමාව දීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන්ද වික්‍රමසිංහ මහතා මෙහිදී අදහස් දැක්වීය. තමන් පුද්ගලිකව කාටවත් සමාව ලබා දී නොමැති බවත්, නිදහස් දිනය සහ වෙසක් දිනය වැනි අවස්ථාවලදී සිරකරුවන්ගේ කාලසීමාව අඩු කර නිදහස් කිරීම සාමාන්‍ය ක්‍රියාපටිපාටියක් බවත් ඔහු පෙන්වා දුන්නේය. බන්ධනාගාර පිරී ඇති බැවින් හැකි තරම් පිරිසක් පිට කරන ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා කළ ඉල්ලීමකට අනුව, ඒ සඳහා වාචිකව උපදෙස් ලබා දුන් බව ඔහු සිහිපත් කළේය. එංගලන්තය වැනි රටවල සමාව දීමට හේතු ලිඛිතව සටහන් කළද, අප රටේ එවැන්නක් සිදු නොවන බව ඔහු කීවේය. අද වන විට සන්නිවේදනය ජංගම දුරකථන සහ විද්‍යුත් තැපෑල ඔස්සේ සිදුවන බැවින් ලිඛිත සටහන් (මිනිට්) තබා ගැනීම ප්‍රශ්නයක් වී ඇති බවත්, කෘත්‍රිම බුද්ධිය (AI) මගින් ප්‍රශ්න කළහොත් කුමක් වේදැයි තමන් නොදන්නා බවත් ඔහු පැවසීය. අග්‍රාමාත්‍යවරයා ලෙස තමන්ද එවැනි ලිඛිත සටහන් තබා නොමැති බවත්, සටහන් තැබුවේ සාම ගිවිසුම සමයේ කරුණා පාර්ශවය සම්බන්ධයෙන් පමණක් බවත් හෙතෙම සඳහන් කළේය.
මේ අතර, ඉන්දියාවේ අග්‍රවිනිශ්චයකාරවරයා සම්බන්ධයෙන් මෑතකදී මතු වූ ප්‍රශ්නයක් ද ඔහු උදාහරණයක් ලෙස ගෙනහැර දැක්වීය. ඉන්දීය අග්‍රවිනිශ්චයකාරවරයාට "දලිත්" යන කුලය මතක් කරමින් පහත් අන්දමින් බැන වැදී සපත්තුවකින් පහරදීමේ සිදුවීමක් සම්බන්ධයෙන් එරට ලබා දෙන්නේ අවවාද කිරීමක් හෝ මාසයක් පමණ රඳවාගෙන පිට කිරීමක් වැනි දඬුවමක් බව ඔහු පෙන්වා දුන්නේය.
ඥානසාර හිමියන්ගේ සිදුවීම කිසිදු ආකාරයකින් වෙනත් ආගම්වලට හානියක් සිදු නොකළ බව අවධාරණය කළ හිටපු ජනාධිපතිවරයා, උන්වහන්සේ කළ වරදට අදාළ දඬුවම ලබා දුන් බවද සිහිපත් කළේය. ඉන් අනතුරුව මතු වූයේ විනය කඩ කර සිවුර ඉවත් කරනවාද, නැතිනම් විනය ආරක්ෂා කර උන්වහන්සේව පිටමං කරනවාද යන ආගමික සහ විනය පිටකය පිළිබඳ ගැටලුව බව ඔහු පැවසීය. මෙහිදී ප්‍රකාශයට පත් වූයේ බහුතර බෞද්ධ මතය බවත්, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය (CPA) වැනි ආයතන ඊට එරෙහිව යාම වැරදි සහගත බවත් පවසමින් එවැනි දේකට සහයෝගය ලබා දිය නොහැකි බව ඔහු අවධාරණය කළේය.
"උන්වහන්සේට දඬුවම් නොකෙරුවා නම් ඒක වෙන එකක් වෙනවා. නැතිනම් නඩු තීන්දුව දුන්න දවසේම සමාව දුන්නා නම් වෙනත් තත්ත්වයක් ඇති වෙනවා. නමුත් මේකෙන් පසුව ආවේ ආගමික සහ විනය පිටකය පිළිබඳ පිළිබඳ ප්‍රශ්නයක්," යැයි පවසමින් රනිල් වික්‍රමසිංහ මහතා මෙම සිදුවීමේ සැබෑ පසුබිම යළිත් වරක් තහවුරු කළේය.