A serious legal challenge to Inspector General of Police Priyantha Weerasooriya

serious-legal-challenge-to-igp-priyantha-weerasuriya

ශ්‍රී ලංකාවේ පොලිස්පති පුටුව යනු මෑත ඉතිහාසය පුරාවටම දැඩි අර්බුදකාරී සහ ඛේදවාචකයන්ගෙන් පිරුණු තනතුරක් බවට පත්ව තිබේ. පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම මත මරණීය දණ්ඩනය නියම වී බන්ධනාගාරගතව සිටින 34 වැනි පොලිස්පති පූජිත් ජයසුන්දර, විශ්‍රාම යාමෙන් පසු නිවසේදීම වෙඩි වැදී අභිරහස් ලෙස මියගිය 35 වැනි පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න

 මෙන්ම පාර්ලිමේන්තු යෝජනාවකින් නෙරපා හැරී බරපතළ නඩු රැසකට මුහුණ දෙමින් රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප මත නිදහස් වූ 36 වැනි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පසුකරමින්, මේ වන විට එම ධුරයට පත්ව සිටින 37 වැනි පොලිස්පති ප්‍රියන්ත වීරසූරියට ද දැන් බරපතළ නීතිමය අභියෝගයකට මුහුණ දීමට සිදුව ඇත.




අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත වත්මන් පොලිස්පතිවරයාට එරෙහිව නඩු පැවරීම සඳහා අභියාචනාධිකරණ සභාපතිවරයා වෙත ලිපිගොනුවක් යොමු කිරීමට ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න මහතා ඊයේ (21) පියවර ගත්තේය. අධිකරණය ලබාදුන් නියෝගයක් ක්‍රියාත්මක නොකිරීම තුළින් ඔහු අධිකරණය හෑල්ලුවට ලක් කර ඇති බවත්, උසාවිය ඇන්දවීමට උත්සාහ කර ඇති බවත් මහේස්ත්‍රාත්වරයා එහිදී තීරණය කර තිබිණි.

මෙම සිදුවීමේ ආරම්භය සනිටුහන් වන්නේ ගම්පහ දූෂණ මර්දන කොට්ඨාසය විසින් පුද්ගලයකුට එරෙහිව පවරා තිබූ අසත්‍ය මත්ද්‍රව්‍ය නඩු දෙකක් සම්බන්ධයෙනි. එම නඩුවේ විත්තිකරුට රුපියල් ලක්ෂ දෙකක වන්දියක් ගෙවන ලෙසට ගම්පහ දූෂණ මර්දන අංශයේ පොලිස් නිලධාරීන් තිදෙනකුට සහ පොලිස් දෙපාර්තමේන්තුවට ගම්පහ මහේස්ත්‍රාත්වරයා මීට පෙර නියෝග කර තිබුණි. ඊට අමතරව, අහිංසක රටවැසියන්ට එරෙහිව මෙවැනි නිස්සාරණ නඩු පැවරීමෙන් වළකින ලෙස සමස්ත පොලිස් නිලධාරීන් ආවරණය වන පරිදි චක්‍රලේඛයක් නිකුත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා විසින් පොලිස්පතිවරයාට නියම කරනු ලැබීය.




පොලිස් දෙපාර්තමේන්තුව විසින් මත්ද්‍රව්‍ය වැටලීම් ඉහළ නැංවීමට උපදෙස් ලබා දී තිබුණද, එය ඉතා අවිධිමත් ආකාරයෙන් ක්‍රියාත්මක වන බව අධිකරණයේදී අනාවරණය වී තිබිණි. විශේෂයෙන්ම එක් මාසයකදී ගන්නා නඩු ප්‍රමාණයට වඩා වැඩි නඩු ප්‍රමාණයක් ඊළඟ මාසයේදී ගත යුතු බවට පොලිසියේ ඉහළ නිලධාරීන් විසින් පහළ නිලධාරීන්ට අණ කිරීමේ ක්‍රමවේදය හරහා ප්‍රගතිය මැනීම මහේස්ත්‍රාත්වරයාගේ දැඩි විවේචනයට ලක්විය. සැබැවින්ම පොලිස් දෙපාර්තමේන්තුව කාර්යක්ෂම ලෙස අපරාධ මර්දනය කරන්නේ නම් ඊළඟ මාසයේදී නඩු ප්‍රමාණය අඩුවිය යුතු බව පෙන්වා දුන් මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න මහතා, පවතින ක්‍රමය යටතේ තවත් වසර පහක් ගත වන විට නඩු පැවරීමට ලංකාවේ ජනගහනය පවා ප්‍රමාණවත් නොවිය හැකි බවට අවධාරණය කළේය. වහාම මෙම ක්‍රමවේදය පිළිබඳව අවධානය යොමු කර එය වෙනස් කළ යුතු බවද එහිදී ප්‍රකාශ විය.

ඒ අනුව අහිංසක ජනතාවට එරෙහිව නිස්සාරණ ලෙස නඩු පැවරීමට පොලිස් නිලධාරීන්ට බල නොකරන ආකාරයේ චක්‍රලේඛයක් නිකුත් කිරීම සඳහා පොලිස්පතිවරයාට මාස පහක කල් ලබා දී තිබිණි. ඊට අදාළ නඩුව මීට පෙර අවස්ථා දෙකකදී කැඳවූවද විවිධ හේතු දක්වමින් එම කටයුත්ත කිරීමට නොහැකි වූ බව දැනුම් දුන් පොලිස් නිලධාරීහු දිගින් දිගටම දින ලබාගැනීමට කටයුතු කළහ.



ඊයේ දිනයේ මෙම නඩුව නැවත කැඳවූ අවස්ථාවේදී පොලිස් දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පොලිස් නීති කොට්ඨාසයේ නීතිඥවරුන් වන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රණීත ජයවර්ධන සහ පොලිස් පරීක්ෂක කෞෂික පෙරේරා අධිකරණයේ පෙනී සිටියහ. ඔවුන් විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේ සමස්ත පොලිසිය ආවරණය වන පරිදි පොලිස්පතිවරයා නිකුත් කළ චක්‍රලේඛයක් නොව, බස්නාහිර පළාත උතුර භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් 2026 ඔක්තෝබර් 19 වැනිදා ගම්පහ, කැලණිය සහ මීගමුව යන පොලිස් කොට්ඨාසවල නිලධාරීන්ට නිකුත් කරන ලද මාර්ගෝපදේශ මාලාවකි.

එම ලියවිල්ල සැලකිල්ලෙන් කියවා බැලූ ගම්පහ මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ තමන් නියෝගය නිකුත් කර ඇත්තේ පොලිස්පතිවරයාට බැවින් මෙලෙස නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ උපදෙස් පත්‍රිකාවක් ගෙන ඒමෙන් කිසිදු තේරුමක් නොමැති බවයි. එය තමන්ව ඇන්දවීම සඳහා දැරූ උත්සාහයක් ලෙස ප්‍රකාශ කළ මහේස්ත්‍රාත්වරයා, මාස පහක කාලයක් ලබා දී තිබියදීත් පොලිස්පතිවරයා සිය නියෝගය ක්‍රියාත්මක නොකිරීම තුළින් අධිකරණයට අපහාස කර ඇතැයි තීරණය කළේය.

අධිකරණයට අපහාස කිරීම යනු මෙරට නීතිය යටතේ වසර ගණනක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම විය හැකි වරදකි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට වසර හතරක සිරදඬුවමක් නියම වූයේත්, ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් මේ වන විටත් වසර හයක සිරදඬුවමක් විඳිමින් සිටින්නේත් අධිකරණයට අපහාස කිරීමේ වරදකරුවන් වීමෙනි. මේ වන විට එම චෝදනාව පදනම් කරගනිමින් වත්මන් පොලිස්පතිවරයාට එරෙහි නඩු ගොනුව අභියාචනාධිකරණය වෙත යොමු කර තිබේ.

Post a Comment

Previous Post Next Post