වසර 10 ක් පසුවීත් සම්පූර්ණ කිරීමට බැරිවූ සිසුන් 5 කට වෛද්‍ය උපාධිය අහිමි වෙයි

five-students-who-failed-to-complete-their-medical-degrees-even-after-10-years-lose-their-exam-opportunity

වසර දහයක කාල සීමාව තුළ සිය වෛද්‍ය උපාධිය සම්පූර්ණ කිරීමට අපොහොසත් වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය සිසුන් පස් දෙනෙකුගේ ශිෂ්‍යභාවය අහෝසි කිරීමට විශ්වවිද්‍යාල බලධාරීන් ගත් තීරණය නීත්‍යානුකූල බව තහවුරු කරමින්, එම සිසුන්ට අවසන් වසර විභාගයට පෙනී සිටීමට අවසර දෙමින් අභියාචනාධිකරණය මීට පෙර ලබා දී තිබූ නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ (12) මුළුමනින්ම බලරහිත කරන ලදී.




මෙම තීරණාත්මක නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරන ලද්දේ මහින්ද සමයවර්ධන, ආචාර්ය සෝභිත රාජකරුණා සහ ගිහාන් කුලතුංග යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේදීය. සෙසු විනිසුරුවන්ගේ එකඟතාව සහිතව තීන්දුව ප්‍රකාශයට පත් කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ආචාර්ය සෝභිත රාජකරුණා මහතා පෙන්වා දුන්නේ, අදාළ සිසුන්ට වෛද්‍ය උපාධියේ අවසාන වසර පරීක්ෂණයට පෙනී සිටීමට නීත්‍යානුකූල බලාපොරොත්තුවක් පැවති බවට අභියාචනාධිකරණය ගත් නිගමනය සමග ශ්‍රේෂ්ඨාධිකරණයට එකඟ විය නොහැකි බවයි.

මෙම අභියාචනා පෙත්සම ගොනු කර තිබුණේ පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ එහි වෛද්‍ය පීඨයේ පීඨාධිපතිවරයා ඇතුළු පිරිසක් විසිනි. එහි වගඋත්තරකරුවන් ලෙස මහනුවර ප්‍රදේශයේ පදිංචි ඩී. ඩී. බන්දුල මහතා ඇතුළු සිසුන් පස් දෙනෙකු නම් කර තිබිණි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය අත්පොතට අනුව වසර පහක වෛද්‍ය උපාධිය සඳහා ලියාපදිංචි වන සිසුවෙකු උපරිම වසර දහයක් ඇතුළත එය සම්පූර්ණ කළ යුතු බවට වන රීතියක් පවතී. කෙසේ වෙතත්, මෙම නඩුවට අදාළ සිසුන් පස් දෙනා 1982, 1992, 1994, 1996 සහ 1997 යන වර්ෂවලදී උපාධිය සඳහා ඇතුළත් වූ අය වෙති.




රෝගී තත්ත්වයන් හෝ විශ්වවිද්‍යාල වසා තැබීම් වැනි බාහිර අධ්‍යයන බාධාවන් මත අධ්‍යයන කාලය තවත් වසර දෙකකින් දික් කිරීමට විශ්වවිද්‍යාල නීතිය යටතේ ප්‍රතිපාදන පැවතුණද, මෙම සිසුන් සිය කාල සීමාව තුළ විභාග සම්පූර්ණ නොකිරීමට එවැනි සාධාරණ වෛද්‍යමය හෝ මානසික හේතුවක් අධිකරණය හමුවේ තහවුරු කර නොමැති බව පෙත්සම්කාර විශ්වවිද්‍යාල පාර්ශ්වය පෙන්වා දී තිබිණි.

විශ්වවිද්‍යාලය වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මනෝහාර ජයසිංහ මහතා අධිකරණයට කරුණු දක්වමින් විශේෂයෙන් පෙන්වා දුන්නේ, දෙවන වගඋත්තරකාර සිසුවා 2003 වසරේදී අවසාන විභාගයේ විෂයයන් හතරක් අසමත් වීමෙන් පසු 2004 වසරේදී යළි විභාගයට පෙනී සිටීමට අවස්ථාව තිබියදීත් එය මඟහැර ඇති බවයි. ඉන් අනතුරුව ඔහු 2012 වසරේදී පෙත්සමක් ගොනු කරමින් අධිකරණ ක්‍රියාවලිය අවභාවිත කර ඇති බවද විශ්වවිද්‍යාලය කියා සිටියේය.



ඊට ප්‍රතිචාර දක්වමින් වගඋත්තරකාර සිසුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කීර්ති තිලකරත්න මහතා 'විජයකෝන් එදිරිව පේරාදෙණිය විශ්වවිද්‍යාලය' නඩුවේ පූර්වාදර්ශය ගෙනහැර දක්වමින් තම සේවාදායකයන්ටද එවැනිම සහනයක් හිමිවිය යුතු බවට තර්ක කළේය.

එහෙත් දෙපාර්ශ්වයේම කරුණු මැනවින් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේ, අදාළ සිසුන් විසින් විභාගය කල් දැමීම සාධාරණීකරණය කිරීමට තරම් අධිකරණය තෘප්තිමත් වන මට්ටමේ කරුණු පැහැදිලි කිරීමක් සිදු කර නොමැති බවයි. ඒ අනුව, වගඋත්තරකරුවන්ට නෛතික හෝ සමානාත්මතා මූලධර්ම යටතේ රිට් ආඥාවක් ලබාගැනීමට තරම් කරුණු තහවුරු වී නොමැති බව නිගමනය කළ ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය විසින් සහන ලබාදෙමින් නිකුත් කර තිබූ රිට් ආඥාව වැරදිසහගත බව තීරණය කරමින් එය ඉවත දැමීමට නියෝග කළේය.

Post a Comment

Previous Post Next Post