ගන්දර, කැකණදුර, තල්පාවිල පාරේ පිහිටි නිවසක් තුළදී 85 හැවිරිදි විශ්‍රාමික ගුරුවරියක ගෙල කපා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇගේ වැඩිමහල් පුතු සැකපිට අත්අඩංගුවට ගැනීමට ගන්දර පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. මෙලෙස අමානුෂික ලෙස ඝාතනයට ලක්ව ඇත්තේ සිව්දරු මවක වූ විදාන ආරච්චිගේ රෙසිරිනා ශ්‍රීමතී නැමැති විශ්‍රාමික ගුරු මාතාවයි.
ඝාතනය සිදුවූ අවස්ථාවේදී මෙම විශ්‍රාමික ගුරුවරිය මහගෙදර තැපැල් සේවකයෙකු වන සිය බාල පුතු සමඟ ජීවත්ව සිට ඇති අතර, ඉකුත් 02 වැනිදා උදෑසන බාල පුතු ගාල්ල ප්‍රදේශයේ රාජකාරියට ගොස් තිබේ. එම අවස්ථාවේදී ඔහුගේ බිරිඳ සහ දරුවන්ද බිරිඳගේ මහගෙදර ගොස් සිටි අතර, සවස නැවත නිවසට පැමිණි බාල පුතු සිය මවගේ නිදන කාමරයේ ඇඳ අසල ලේ විලක් මැද වැටී සිටිනු දැක ඇත. වහාම ක්‍රියාත්මක වූ ඔහු 1919 අංකය ඔස්සේ හදිසි ගිලන් රථයක් කැඳවූවත්, ඇය මියගොස් ඇති බව තහවුරු වීමෙන් පසු 119 හදිසි ඇමතුම් අංකය හරහා පොලිසිය දැනුවත් කිරීමට පියවර ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය නිවස අසල සීසීටීවී (CCTV) දර්ශන නිරීක්ෂණය කිරීමේදී මියගිය කාන්තාවගේ ලොකු පුතා නිවසට පැමිණ නැවත නොනවත්වා දිව යන ආකාරය සටහන්ව තිබී ඇත. ඔහු දිව යන අයුරු දුටු ප්‍රදේශවාසියෙකු ඒ පිළිබඳව විමසීමේදී කිසිදු පිළිතුරක් නොදීම පලාගොස් ඇති බවත්, පසුව සිය ජංගම දුරකථනයද ක්‍රියා විරහිත කරමින් සැකකරු ප්‍රදේශයෙන් මගහැර ගොස් ඇති බවත් පරීක්ෂණවලදී අනාවරණය විය.
මාතර වැඩ බලන මහෙස්ත්‍රාත් පාලිත හෙට්ටිආරච්චි මහතා ඉකුත් 03 වැනිදා සිද්ධිය වූ ස්ථානයට පැමිණ පරීක්ෂාවන් සිදුකළ අතර, මෘත ශරීරය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය මාතර මහ රෝහල වෙත රැගෙන යන ලෙස නියෝග කළේය. මාතර කොට්ඨාස සහකාර පොලිස් අධිකාරී චන්දන විජේසේකර මහතාගේ උපදෙස් හා ගන්දර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චාමින්ද ජයලත් මහතාගේ අධීක්ෂණය යටතේ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති සලින්ත අමරසිංහ මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.