හිටපු ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක කාර්යාලයේ සේවකයකු ලෙස පත්වීම් ලබා ගනිමින්, හිටපු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාට අයත් පෞද්ගලික ඉන්ධන පිරවුම්හලක සේවය කර රජයට මූල්‍ය පාඩුවක් සිදුකළ බවට චෝදනා ලැබ සිටින සැකකරුවකු එළඹෙන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නුවන් කාසල්‍යය මහතා නියෝග කර තිබේ. මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගනු ලැබූ කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන දීපාල් සංජීව රත්නායක නමැති අයෙකි.
හිටපු ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක (විමධ්‍යගත පරිපාලන) කාර්යාලයේ කළමනාකරණ සහකාරවරයකු ලෙස රජයේ සේවයට බැඳී සිටි මෙම සැකකරු, අදාළ රාජ්‍ය ආයතනය වෙත වාර්තා නොකර 2024 පෙබරවාරි මාසයේ සිට එම වසරේ සැප්තැම්බර් මාසය දක්වා කාලය තුළ හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ කුලියාපිටියේ පිහිටි පෞද්ගලික ඉන්ධන පිරවුම්හලක කළමනාකරුවකු හා අධීක්ෂකවරයකු ලෙස කටයුතු කර ඇති බව අල්ලස් කොමිසම අධිකරණය හමුවේ කරුණු දක්වා ඇත. රජයේ සේවයේ නිරත විය යුතු කාලය තුළදී හෙතෙම අවස්ථා 24කදී අදාළ ඉන්ධන පිරවුම්හලේ මුදල් බැංකුගත කිරීම සඳහා පැමිණ ඇති බවට ද සාක්ෂි අනාවරණය වී තිබේ. අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් පරිදි තාවකාලික පදනම යටතේ බඳවාගත් සේවකයන් සිව්දෙනෙකු මෙලෙස පෞද්ගලික වැඩ සඳහා යොදවා ගනිමින්, ඔවුන්ට වැටුප් හා දීමනා ලෙස රුපියල් 2,768,836.14ක රාජ්‍ය මුදලක් ගෙවීම හරහා රජයට රුපියල් ලක්ෂ 27කට අධික පාඩුවක් සිදු කිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව දූෂණය නමැති වරද යටතේ චෝදනා එල්ල වී ඇත.
සිද්ධියට අදාළව 2025 වසරේදී ලැබුණු පැමිණිල්ලකට අනුව අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබාදුන් සැකකරු, ලැබුණු දිවා ආහාර විවේකය අතරතුරදී පළමු සැකකාර අකිල විරාජ් කාරියවසම් මහතා වෙත පස්වතාවක් දුරකථනයෙන් ඇමතුම් ලබා දී තිබේ. ඉන් අනතුරුව තමන් පෙර ලබාදුන් ප්‍රකාශය නිවැරදි නොවන බවට ප්‍රකාශ කර ඇති අතර, එය පළමු සැකකරුගේ බලපෑම මත සිදුකර ඇති බවට හැඟී යන බව අල්ලස් කොමිසම පෙන්වා දී ඇත. තවද, අදාළ ඉන්ධන පිරවුම්හලේ රජයේ කාර්යාලයක කොටසක් පවත්වාගෙන ගිය බව දැක්වීමට සැකකාර පාර්ශ්වය මගින් ඉදිරිපත් කළ සාක්ෂි ලේඛන 2026 වසරේදී සකස් කරන ලද ව්‍යාජ ලේඛන බවට පැමිණිලි පාර්ශ්වය කරුණු සනාථ කර ඇත.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හරින් හෙට්ටිආරච්චි මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, විමර්ශන අවසන් නොමැති බව පවසමින් සැකකරු දීර්ඝ ලෙස බන්ධනාගාරගත කිරීමෙන් ඔහුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවයි. සැකකරුගේ බිරිඳ ප්‍රසූත කළ දරුවා මියයාම හේතුවෙන් ඇය සමග සායන සඳහා සහභාගී වීමට සිදුවීම සහ පවතින බන්ධනාගාර තදබදය සලකා බලා ඇප ලබාදෙන ලෙස හෙතෙම ඉල්ලා සිටියේය. අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශ නොකළ කරුණු සටහන්ව තිබීම නිසා ඒ පිළිබඳව වෙනම දිවුරුම් පෙත්සමක් ඉදිරිපත් කළ බවත්, වෙනත් ස්ථානයක සේවය කළේ නම් ආයතනයේ ගණකාධිකාරීවරයා හෝ මානව සම්පත් කළමනාකරු වැටුප් ගෙවීම සිදු නොකරන බවත් නීතිඥවරයා පෙන්වා දුන්නේය.
දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන තවමත් අවසන්ව නොමැති වීම, ඇප මුදාහැරියහොත් සාක්ෂිවලට සහ විමර්ශනවලට බාධා සිදුවීමට ප්‍රමාණවත් කරුණු පැවතීම මෙන්ම ඉදිරිපත් කරන ලද සාක්ෂි ලේඛන 2026 වසරේදී නිර්මාණය කරන ලද ඒවා බවට තහවුරු වීම යන කරුණු පදනම් කරගෙන ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. ඒ අනුව සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා, විමර්ශනවල ප්‍රගතිය ඉදිරි දිනයේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරන ලෙස නියෝග කළේය.