වයසට යාමත් සමඟ බොහෝ දෙනෙකුට පෙර මෙන් ආහාර ගැනීමට නොහැකි වීම සහ ආහාර රුචිය අඩුවීම සාමාන්‍ය තත්ත්වයකි. ටෆ්ට්ස් විශ්වවිද්‍යාලයේ පෝෂණ විද්‍යාව පිළිබඳ මහාචාර්ය රොජර් ඒ.
ෆීල්ඩින් පෙන්වා දෙන පරිදි, වයස අවුරුදු 60 සහ ඊට වැඩි පුද්ගලයින් තරුණ අයට වඩා සියයට 16 ත් 20 ත් අතර ප්‍රමාණයකින් අඩු කැලරි ප්‍රමාණයක් පරිභෝජනය කරන බව අධ්‍යයන 60 කට ආසන්න ප්‍රමාණයක් විශ්ලේෂණය කිරීමෙන් හෙළි වී තිබේ. පෙන් ස්ටේට් විශ්වවිද්‍යාලයේ පෝෂණ විද්‍යාව පිළිබඳ මහාචාර්ය බාබරා රෝල්ස් සඳහන් කරන්නේ පුද්ගලයෙකුගේ වයස සහ ආහාර ගැනීමෙන් පසු ඔවුන්ට දැනෙන තෘප්තිමත් බව වැනි විවිධ සාධක මෙම තත්ත්වයට බලපාන බවයි.හියුස්ටන් මෙතෝදිස්ත රෝහලේ වෛද්‍ය මාග්‍රට් මැනුස් පවසන ආකාරයට, වයසට යාමත් සමඟ ශරීරයේ සිදුවන හෝමෝන වෙනස්කම් ආහාර රුචිය කෙරෙහි දැඩි ලෙස බලපායි. වයස්ගත වන විට කුසගින්න ඇති කරන 'ග්‍රෙලින්' (ghrelin) හෝමෝනය නිපදවීම අඩුවන අතර, ආහාර ගත් පසු කුස පිරුණු බවක් දැනෙන 'ලෙප්ටින්' (leptin) සහ 'කොලිසිස්ටොකයින්' (cholecystokinin) යන හෝමෝන වැඩි වශයෙන් ශරීරය තුළ නිපදවයි. මීට අමතරව, වයසට යාමත් සමඟ ආමාශය හිස් වීමේ වේගය මන්දගාමී වන බවට ද සාක්ෂි පවතින අතර, මේ හේතුවෙන් එක් ආහාර වේලකට පසු නැවත කුසගින්න දැනීමට සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි කාලයක් ගත වේ.
මාංශ පේශි අහිමි වීමද වැඩිහිටියන්ගේ ආහාර රුචිය අඩුවීමට තවත් ප්‍රධාන හේතුවකි. මාංශ පේශි මගින් මේදයට වඩා වැඩි කැලරි ප්‍රමාණයක් දහනය කරන බැවින්, මාංශ පේශි ප්‍රමාණය අඩුවන විට ශරීරයට අවශ්‍ය කැලරි හෙවත් ආහාර ප්‍රමාණයද ස්වභාවිකවම අඩු වේ. එසේම, වයසට යත්ම අපගේ රස බැලීමේ සහ සුවඳ දැනීමේ සංවේදනයන් දුර්වල වන බව පර්යේෂණ මගින් තහවුරු වී ඇත. වයස අවුරුදු 50 ට වැඩි පුද්ගලයින් 60 දෙනෙකු යොදාගනිමින් 2022 වසරේදී සිදු කරන ලද අධ්‍යයනයකට අනුව, ඉන් අඩකට වඩා වැඩි පිරිසකට රස දැනීමේ ගැටලු තිබූ අතර සියයට 70 කට පමණ නිසි ලෙස සුවඳ දැනීමේ හැකියාව නොතිබුණි. ආහාරවල නිසි රස සහ සුවඳ නොදැනීම හේතුවෙන් ආහාර කෙරෙහි ඇති ආශාව ක්‍රමයෙන් හීන වී යයි.
කෙසේ වෙතත්, අහිමි වූ ආහාර රුචිය නැවත ලබා ගැනීම සඳහා විවිධ ක්‍රමවේද අනුගමනය කළ හැකිය. වෛද්‍ය මැනුස් නිර්දේශ කරන්නේ නිතිපතා ව්‍යායාම කිරීමෙන් කැලරි දහනය වී ශරීරයට නැවත ආහාර අවශ්‍යතාවය ඇති වන බවයි. විශේෂයෙන්ම බර එසවීමේ ව්‍යායාම මගින් මාංශ පේශි වර්ධනය වන බැවින්, වයස අවුරුදු 65 සහ ඊට වැඩි වැඩිහිටියන් සතියකට දෙවරක්වත් රාත්තල් 2 ත් 10 ත් අතර බරක් භාවිතා කරමින් මාංශ පේශි ශක්තිමත් කරන ව්‍යායාමවල නිරත වීම සුදුසු බව ඇමරිකාවේ රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථාන (CDC) පෙන්වා දෙයි. ප්‍රධාන ආහාර වේල් තුනක් වෙනුවට දවස පුරා කුඩා ආහාර වේල් හතරක් හෝ පහක් ලබා ගැනීමද සාර්ථක විකල්පයකි. එසේම, ආහාරවල රසය වැඩි කිරීම සඳහා ලෙමන් යුෂ, විවිධ කුළුබඩු හෝ ඖෂධ පැළෑටි එක් කිරීමත්, තනිවම ආහාර ගන්නවාට වඩා පවුලේ අය හෝ මිතුරන් සමඟ එක්ව කෑම මේසයට වාඩි වීමත් මගින් වැඩි ආහාර ප්‍රමාණයක් ලබා ගැනීමට පුද්ගලයින් තුළ පෙළඹවීමක් ඇති කළ හැක.
(ගල්ෆ් නිවුස් ඇසුරිනි)