'සුදු වෑන් ඉස්සීම්' චෝදනා ලද හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප

former-navy-commander-ravindra-wijegunaratne-accused-of-white-van-issim-granted-bail

2008 වසරේ කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලින් තරුණයින් 11 දෙනෙකු සුදු වෑන් ඔස්සේ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිදුවීමට අදාළ සැකකරුවෙකුට සැඟවී සිටීමට ආධාර සහ අනුබල දුන්නේ යැයි චෝදනා ලබා සිටි හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඇප මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය. පූර්වයෙන් නිකුත් කරන ලද අධිකරණ නොතීසියකට අනුව හිටපු නාවික හමුදාපතිවරයා අද (ජූලි 22) දින මෙලෙස අධිකරණය හමුවේ පෙනී සිටියේය.




නඩුව කැඳවූ අවස්ථාවේදී සැකකාර හිටපු නාවික හමුදාපතිවරයාට අදාළ චෝදනා පත්‍රය විවෘත අධිකරණයේදී කියවන ලදී. 2008 සහ 2009 යන වසරවල සිදුවූ මෙම තරුණයින් අතුරුදන් කිරීමේ සිදුවීමේ සැකකරුවෙකු වන චන්දන හෙට්ටිආරච්චි නමැත්තාට සැඟවී සිටීමට පහසුකම් සැලසීම ඇතුළු චෝදනා රැසක් මෙමගින් ඔහුට එරෙහිව ඉදිරිපත් කර තිබුණි.

සැකකාර රවීන්ද්‍ර විජේගුණරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න මහතා කරුණු දක්වමින් කියා සිටියේ, තම සේවාදායකයා මීට පෙරද මෙම නඩුවේ සැකකරුවෙකු ලෙස නම්කර පසුව නීතිපති උපදෙස් මත නිදහස් කර සිටි අයෙකු බවයි. එසේම මෙවර චෝදනා ඉදිරිපත් කර ඇති ආකාරය නීතියට පටහැනි බවටද ජනාධිපති නීතිඥවරයා මෙහිදී තර්ක කළේය.




කෙසේ වෙතත් අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අචලා සෙනෙවිරත්න මහත්මිය අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද විධිමත් විමර්ශනයකින් අනතුරුව මෙම චෝදනා ගොනුකර ඇති බවයි.

Post a Comment

Previous Post Next Post