ඊළග පළාත් සභා මැතිවරණයට පෙර පාර්ලිමේන්තු අසුනින් ඉවත්වී වයඹ මහඇමති සටනට ඉදිරිපත්වීමට නියමිත බවට කතා පැතිර ඇති පා.මන්ත්‍රී දයාසිරි ජයසේකර ඊයේ (14) පැවති රැස්වීමකදී කියා සිටියේ අත්අඩංගුවේ පසුවන සලේගේ පරිගණකයේ මුරපද ලබාගැනීම සීයඅඩීය විසින් සිදු කළොත් රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බවත් යුද්ධය සම්බන්ධ සියලු තොරතුරු එම පරිගණකයේ ඇති බවත්ය. මෙම ප්‍රකාශය ආන්දෝලනයට තුඩුදී ඇති අතර කිසියම් නිලධාරියෙක් ගැන පාස්කු සමූල ප්‍රහාර සම්බන්ධ පරීක්ෂණ සිදුකරද්දී එම පරීක්ෂණය සැකයට භාජනය කිරීමක් දයාසිරි අතින් සිදුකර ඇත.
එම පරීක්ෂණ නිලධාරීන් අවිශ්වාස කිරීමද ගැටලුකාරීය.අනෙක් අතට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අවස්ථා කිහිපයකදීම ප්‍රකාශ කර ඇත්තේ සුරේෂ් සලේ යුද අවස්ථාවේ බුද්ධි අංශයේ මුලිකත්වය ගෙන කටයුතු කර නැති බවයි. ඔහු බොහෝ අවස්ථාවල රාජපක්ෂ පවුලේ අන්තේවාසිකයෙකු ලෙස බැලමෙහෙවර කළ බුද්ධි අංශ කටයුතු වල නිරතවූ බවත් ඔහු යුද්ධයෙන් පසු රාජපක්ෂලාගේ දේශපාලන යුද්ධයට යටින් සහය දෙන වැඩසටහන් ක්‍රියාත්මක කළ අයෙකු ලෙසද හඳුන්වාදී තිබුණි.
දයාසිරි ජයසේකර මෙම කරුණ අනාවරණය කළේ මෙසේය.
දැන් කියනවා, "සලේගේ පරිගණකයේ තියෙන මුරපද ටික දීපන්" කියලා.
ඒකට අත තියනවා කියන්නේ — මතක තියාගන්න — මේ රටේ සම්පූර්ණයෙන්ම මේ යුද්ධයට සම්බන්ධ වෙච්ච සියලුම කාරණා මුළු ලෝකයටම විවෘත කරන (එසේත් නැත්නම් 'ඕපන්' කරන) වැඩපිළිවෙළක්.
මම අර කිව්වේ, භෞතික භාණ්ඩ සොරකම් කරනවාට වඩා වැඩි සොරකමකින් මේ රටේ අපේ භෞමික අඛණ්ඩතාවයට පහර දීලා තියෙනවා කියලා. අපේ ස්වෛරීත්වයට පහර දීලා තියෙනවා.
දැන් මේ සලේගේ ක්‍රියාවලිය ගත්තායින් පස්සේ, තමුන්නාන්සේලා දන්නවා ඔහු පාස්කු ප්‍රහාරය සම්බන්ධ වැඩකටයුතු කරලා තියෙනවා නම්, ඔහුව අත්අඩංගුවට අරගෙන, ඔහුගෙන් කටඋත්තර ලබාගෙන, ඔහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ කියලා. ඒක ගැන කිසිම ගැටලුවක් නැහැ. අපි ඒකට අඬන්නෙත් නැහැ, කෙඳිරිගාන්නෙත් නැහැ.
හැබැයි දැන් මොකක්ද මේ කියන්නේ? දැන් කියනවා, "සලේගේ පරිගණකයේ තියෙන මුරපද ටික දීපන්" කියලා. මේ මොකක්ද කියන්නේ?
අර ආපු දිගුදුරු විහිදුම් බලකායන් ගිහිල්ලා කරපු ක්‍රියාදාමය සිද්ධ කළේ එතනින්. හැබැයි ඒකට අත තියනවා කියන්නේ — මතක තියාගන්න — මේ රටේ සම්පූර්ණයෙන්ම මේ යුද්ධයට සම්බන්ධ වෙච්ච සියලුම කාරණා ලෝකයටම විවෘත කරන වැඩපිළිවෙළක්. මේක තමයි දැන් ක්‍රියාත්මක කරන්නේ.
මේක මහ ලොකු දෙයක් නෙමෙයි වගේ අඟවමින් සලේගෙන් ඉල්ලනවා, "මුරපද ටික දීපන්, අපිට මේ පරිගණකය අරින්න ඕනේ" කියලා. ඒක එයාගේ පෞද්ගලික බූදලයක් නෙමෙයි.
මේ රටේ තොරතුරු ටික, රටේ බුද්ධි තොරතුරු ටික, රටේ ත්‍රස්තවාදය සම්බන්ධයෙන් තියෙන තොරතුරු ටික, වගේම හෙට අනිද්දා වෙන්න තියෙන ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් ඉතිහාසගත කරපු බුද්ධි තොරතුරු ටික තමයි මේ රටේ විවෘත කරන්න හදන්නේ.