විදුලි බිල වැඩිකරනවට කැමති අය ඉන්නවද හොයන්න PUCSL මහජන සමීක්ෂණයක්

pucsl-is-conducting-a-public-survey-to-find-out-if-there-are-people-who-want-to-increase-the-electricity-bill

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් මෙම වසරේ දෙවැනි සහ තෙවැනි කාර්තු සඳහා විදුලි ගාස්තු සංශෝධනය කිරීමට ජාතික පද්ධති මෙහෙයුම් පෞද්ගලික සමාගම විසින් ඉදිරිපත් කර ඇති යෝජනාව පිළිබඳ අවසන් තීරණය ලබන මැයි මස 09 වැනිදා නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි. පසුගිය 27 වැනිදා අනුමැතිය සඳහා කොමිසම වෙත ඉදිරිපත් කරන ලද අදාළ විදුලි ජනන පිරිවැය ඇස්තමේන්තු සමාලෝචනය කිරීමෙන් අනතුරුව මේ වන විට විදුලි ගාස්තු සංශෝධන උපදේශන පත්‍රිකාවක් ප්‍රකාශයට පත් කර ඇති අතර, එම යෝජනාව සම්බන්ධයෙන් මහජන අදහස් විමසීමට කොමිෂන් සභාව තීරණය කර ඇති බව එහි ආයතනික සන්නිවේදන අධ්‍යක්‍ෂ ජයනාත් හේරත් මහතා ප්‍රකාශ කළේය.




ඒ අනුව අදාළ උපදේශන පත්‍රිකාව පරිශීලනය කර ඕනෑම පාර්ශ්වයකට ලබන මැයි 06 වැනිදා දක්වා තම අදහස් හා යෝජනා ලිඛිතව ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දී තිබේ. මීට අදාළ වාචික අදහස් දැක්වීමේ සැසිය ද මැයි මස 06 වැනිදා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙන අතර, ඊට එක්වීම සඳහා 0764271030 යන දුරකථන අංකය ඔස්සේ පූර්ව ලියාපදිංචි වීම අනිවාර්ය වේ. මීට අමතරව විශේෂ විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ලිඛිත අදහස් හා යෝජනා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව, 6 වැනි මහල, ලංකා බැංකු වෙළෙඳ කුලුන, ශාන්ත මයිකල් පාර, කොළඹ 03 යන ලිපිනයට තැපැල් මගින් ද, consultation@pucsl.gov.lk යන ඊමේල් ලිපිනයට, 0112392641 ෆැක්ස් අංකයට හෝ 0764271030 වට්ස්ඇප් අංකයට යොමු කළ හැකිය. මෙලෙස ඉදිරිපත් වන මහජන අදහස් සහ යෝජනා පුළුල් ලෙස සැලකිල්ලට ගනිමින් විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ අවසන් තීරණයට එළඹෙන බව ජයනාත් හේරත් මහතා එහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

විදුලි ජනන පිරිවැය ඉහළ යාම හේතුවෙන් අදාළ කාර්තු දෙක සඳහා රුපියල් බිලියන 38ක හිඟයක් නිර්මාණය වන බව ජාතික පද්ධති මෙහෙයුම් පෞද්ගලික සමාගම කොමිෂන් සභාවට යොමු කළ ඇස්තමේන්තුවේ දැක්වෙයි. කෙසේ වෙතත්, ගල් අඟුරු ගැටලුව මත ඇති වූ අතිරේක වියදම් මෙම හිඟයට අඩංගු කර නොමැති අතර, සමස්ත හිඟයෙන් රුපියල් බිලියන 15ක් සහනාධාරයක් ලෙස ලබාදීමට රජය ගත් තීරණය මහා භාණ්ඩාගාරය විසින් දැනටමත් කොමිෂන් සභාව වෙත දැනුම් දී ඇත. යෝජිත ගාස්තු සංශෝධන උපදේශන පත්‍රිකාවට අනුව, මෙම රුපියල් බිලියන 15ක රජයේ සහනාධාරය මැයි 10 වැනිදා සිට විදුලි පාරිභෝගිකයන් වෙත හිමිවනු ඇත. ඒ යටතේ ගෘහස්ථ සහ ආගමික සිද්ධස්ථාන ඇතුළු සමස්ත පාරිභෝගිකයන්ගෙන් සියයට 95කටම රජයේ සහනාධාරය මත විදුලි ගාස්තු ඉහළ නොදැමීමට නිර්දේශ කර තිබේ. ඊට අමතරව පොදු කාර්ය, රාජ්‍ය ආයතන සහ සංචාරක හෝටල් යන කාණ්ඩවල මාසිකව ඒකක 180ට අඩුවෙන් විදුලිය පරිභෝජනය කරන අනුකාණ්ඩ සඳහා ද, කර්මාන්ත අංශයේ පළමු අනුකාණ්ඩය සඳහා ද ගාස්තු ඉහළ නොදැමීමට එහි නිර්දේශ කර ඇති අතර ගල් අඟුරු තත්ත්වය නිසා වන අතිරික්ත පිරිවැය ද විදුලි ගාස්තුවට ඇතුළත් කර නොමැත.




මීට පෙර මාර්තු මස 30 වැනිදා මහජන උපයෝගිතා කොමිසම විසින් මෙම අප්‍රේල් මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 10කින් විදුලි ගාස්තු ඉහළ දැමීමට පියවර ගන්නා ලදී. ඉන් අනතුරුව ජාතික පද්ධති මෙහෙයුම් පුද්ගලික සමාගම විසින් අප්‍රේල් 06 වැනිදා වසරේ දෙවැනි කාර්තුව සඳහා තවත් සියයට 15කින් විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාවක් කොමිසමට ඉදිරිපත් කළේය. එහෙත් අප්‍රේල් සිට ජූනි දක්වා කාලය තුළ ගාස්තුව තවත් සියයට 15කින් වැඩි කළහොත් අදාළ කාල සීමාව තුළ සමස්ත විදුලි ගාස්තු ඉහළ යාම සියයට 25ක් තරම් විශාල අගයක් ගන්නා බව පෙන්වා දෙමින් කොමිසම විසින් අදාළ අවස්ථාවේදී එම යෝජනාව සලකා බැලීමකින් තොරවම ප්‍රතික්ෂේප කරනු ලැබීය.

Post a Comment

Previous Post Next Post