තම ඉලක්කය වූ ඇමෙරිකානු ජනාධිපතිවරයා වෙත මරණය රැගෙන යාමට මිනිත්තු තිහකට පමණ පෙර, ඒ සීතල ඝාතකයා හෝටල් කාමරයේ කැඩපතක් ඉදිරියේ ආයුධ සන්නද්ධව තමන්ගේම ඡායාරූපයකට පෙනී සිටියේය.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමේ අසාර්ථක උත්සාහයට සම්බන්ධ 31 හැවිරිදි කෝල් ඇලන් නමැත්තා පිළිබඳව ඇමෙරිකානු බලධාරීන් විසින් බදාදා දින මෙම නවතම තොරතුරු ප්‍රසිද්ධියට පත් කරන ලදී. වොෂින්ටන් හි හිල්ටන් හෝටලයේ පැවති ධවල මන්දිර වාර්තාකරුවන්ගේ වාර්ෂික රාත්‍රී භෝජන සංග්‍රහයට කඩා වැදීමට පෙර, එනම් සෙනසුරාදා රාත්‍රී 8.03 ට පමණ ඔහු සිය ජංගම දුරකථනයෙන් මෙම ඡායාරූපය ලබාගෙන ඇත. කළු පැහැති කමිසයකින් හා කලිසමකින් සැරසී රතු පැහැති ටයි පටියක් පැළඳ සිටි ඔහුගේ සිරුරේ උණ්ඩ, පිස්තෝල කොපුවක්, පිහියක් සහ කම්බි කපන උපකරණ සඟවා තිබෙන අයුරු එහි පැහැදිලිව දැකගත හැකිය.
මෙම බිහිසුණු සැලසුම ක්‍රියාත්මක වූයේ නම්, ජනාධිපතිවරයා ඇතුළු රජයේ ඉහළ පෙළේ නිලධාරීන් සහ එහි පැමිණ සිටි 2,300 කට අධික ආරාධිතයින්ගේ ජීවිත දැඩි අවදානමකට ලක්වීමට ඉඩ තිබුණි. තමාගේ මූලික ඉලක්කය රජයේ නිලධාරීන් වුවද, අනෙකුත් අහිංසක අමුත්තන්ගේ මරණය "පිළිගත හැකි අතුරු හානියක්" ලෙස ඔහු සිය පවුලේ සාමාජිකයින්ට ස්වයංක්‍රීයව යැවෙන පරිදි සකස් කළ විද්‍යුත් තැපැල් පණිවිඩවල අමානුෂික ලෙස සඳහන් කර තිබීම, ඔහුගේ අරමුණෙහි ඇති අඳුරු ස්වභාවය මනාව පිළිඹිබු කරයි.
ඇමෙරිකාවේ බල කේන්ද්‍රය සහ මාධ්‍ය අතර පැවැත්වෙන ප්‍රධානතම උත්සවයක් ඉලක්ක කරගනිමින් ඔහු සති ගණනාවක සිට මෙම ප්‍රහාරය සැලසුම් කර තිබුණි. අප්‍රේල් 6 වනදා අදාළ හෝටලයේ කාමරයක් වෙන්කර ගත් ඔහු, කැලිෆෝනියාවේ ටොරන්ස් ප්‍රදේශයේ සිට දුම්රියෙන් සහ බස් රථයෙන් චිකාගෝ හරහා වොෂින්ටන් නුවරට පැමිණියේ මාරාන්තික ආයුධ තොගයක් ද රැගෙනය. අත්අඩංගුවට ගන්නා අවස්ථාව වන විටත් ඔහු සතුව තිබී 'මොස්බර්ග්' වර්ගයේ වෙඩි තුවක්කුවක්, මිලිමීටර් 38 ප්‍රමාණයේ පිස්තෝලයක් මෙන්ම තියුණු කිනිසි සහ පිහි කිහිපයක් ද බලධාරීන් විසින් සොයාගන්නා ලදී. නීත්‍යානුකූලව මිලදී ගත් ආයුධ වුවද, ප්‍රාන්ත දේශසීමා හරහා ඒවා රැගෙන යාම ෆෙඩරල් නීතිය යටතේ වසර 10 ක සිරදඬුවම් ලැබිය හැකි වරදකි.
මේ වන විට ඇලන් හට ජනාධිපතිවරයා ඝාතනය කිරීමට තැත් කිරීම ඇතුළු බරපතළ චෝදනා තුනක් එල්ල වී ඇති අතර, එය ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලැබිය හැකි බරපතළ අපරාධයකි. "වොෂින්ටන් පෝස්ට්" පුවත්පත විසින් මුදාහැර ඇති තත්පර හතරක කෙටි වීඩියෝවකින් ඔහු ආරක්ෂක වළල්ල බිඳගෙන ගොස් රහස් ඔත්තු සේවා නිලධාරියෙකු වෙත ආයුධයක් එල්ල කරන ආකාරයත්, ඊට ප්‍රතිචාර ලෙස වෙනත් නිලධාරියෙකු ඔහුට සිව් වතාවක් වෙඩි තබන ආකාරයත් සටහන් වී ඇත. ජනාධිපතිවරයා විසින් "ප්‍රකාශනයක්" ලෙස හැඳින්වූ ඔහුගේම විද්‍යුත් තැපැල් පණිවිඩවල තමා "කාරුණික ෆෙඩරල් ඝාතකයෙකු" ලෙස ඔහු හඳුන්වාගෙන තිබුණද, මෙතරම් දැවැන්ත ආරක්ෂක දැලක් මඟහැර මෙවැනි ආයුධ තොගයක් සමඟ ඔහු උත්සව ශාලාව ආසන්නයටම පැමිණියේ කෙසේද යන්න තවමත් ඇමෙරිකානු බුද්ධි අංශ හමුවේ ඇති දැවැන්ත ප්‍රශ්නාර්ථයකි. ඇප ලබා නොදී ඔහුව තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට පැමිණිල්ල අධිකරණයෙන් ඉල්ලා සිටින්නේ මෙම සැඟවුණු තර්ජනයේ බරපතළකම නිසාමය.