පාසල් දැරියක අපයෝජනයට ලක් කිරීමේ චෝදනාව මත ලග්ගල, බකමූණ සහ නාඋල යන ප්‍රදේශවල උපකාරක පන්ති පවත්වනු ලබන ජනප්‍රිය ගුරුවරයෙකු ඔහුගේ සුඛෝපභෝගී මෝටර් රථයද සමඟ ඊයේ (29) දින අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මෙම අපරාධය පිළිබඳව තොරතුරු හෙළි වී ඇත්තේ, අදාළ වින්දිත දැරියගේ පියා විසින් මෙම ගුරුවරයාට පහරදීමක් සම්බන්ධයෙන් මීට දින කිහිපයකට පෙර ලැබුණු පැමිණිල්ලක් මත ලග්ගල පොලිසිය විසින් සිදු කරන ලද විමර්ශනයක් අතරතුරදීය.
එහිදී දැරිය විසින් ලබාදුන් කටඋත්තර සම්බන්ධයෙන් ඇති වූ සැකයක් මත ලග්ගල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ධම්මික පතිරාජ මහතා විසින් සැකකරුගේ සහ දැරියගේ ජංගම දුරකථන පරීක්ෂාවට ලක් කර තිබේ.
එම දුරකථන පරීක්ෂාවේදී අදාළ දැරියගේ අඩනිරුවත් ඡායාරූප ගුරුවරයා සමඟ හුවමාරු කරගෙන ඇති බවට තහවුරු වීමත් සමඟ මෙම අපයෝජන සිදුවීමේ සුලමුල සොයාගැනීමට විමර්ශකයන්ට හැකි වී ඇත.
මෙම සැකකාර ගුරුවරයා සිය උපකාරක පන්ති සඳහා සහභාගි වන පිරිමි සහ ගැහැණු ළමුන් අතර අනවශ්‍ය ප්‍රේම සබඳතා ගොඩනැගීමට අනුබල දී ඇති බවද පොලිස් පරීක්ෂණවලදී වැඩිදුරටත් අනාවරණය වී තිබේ.
ඔහු විසින් සිය සුඛෝපභෝගී මෝටර් රථයෙන් දැරියන්ව නකල්ස් පාරිසරික කලාපය සහ කඳුකර නැරඹුම් මධ්‍යස්ථාන වෙත රැගෙන ගොස් එම රථය තුළදීම ඔවුන්ව අපයෝජනයට ලක් කර ඇති බවට කරුණු හෙළිදරව් වී ඇත.
අපයෝජනයට ලක්වූ බව කියන දැරිය වෛද්‍ය පරීක්ෂණ කටයුතු සඳහා මේ වන විට දඹුල්ල මූලික රෝහල වෙත ඇතුළත් කර තිබේ.
මෙම ගුරුවරයා අතින් වෙනත් කිසිදු දරුවෙකු මෙලෙස අපයෝජනයට ලක්වී ඇත්දැයි සොයා බැලීම සඳහා ලග්ගල පොලිස් ස්ථානාධිපතිවරයාගේ උපදෙස් පරිදි පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය මගින් මේ වන විටත් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.