Commercial Credit and New Natasha companies fined for transacting without investigating the fraudulent history

commercial-credit-and-new-natasha-fined-for-conducting-transactions-without-checking-fraudulent-history

මූල්‍ය පද්ධතියේ විනිවිදභාවය සහ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් පනවා ඇති නීතිමය රෙගුලාසි නොසලකා හරින ආයතනවලට එරෙහිව ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය (FIU) දැඩි පියවර ගෙන තිබේ. මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම සම්බන්ධ රෙගුලාසිවලට අනුකූලව කටයුතු නොකිරීම හේතුවෙන්, 2026 අප්‍රේල් සිට ජුනි දක්වා කාලය තුළ සමාගම් දෙකකට රුපියල් මිලියන 3.3ක සමස්ත දඩ මුදලක් පනවා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.




මූල්‍ය ගනුදෙනු වාර්තා කිරීමේ පනත යටතේ පනවන ලද මෙම දඩ මුදල් අතරින් වැඩිම දඩය නියම වී ඇත්තේ Commercial Credit & Finance PLC සමාගමටයි. ඒ රුපියල් මිලියන 3ක මුදලකි. මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය සිදුකළ ස්ථානීය පරීක්ෂණයකදී මෙම සමාගම තුළ පැවති බරපතළ අඩුපාඩු කිහිපයක් හඳුනාගෙන ඇති බව මහ බැංකුව සඳහන් කරයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අදාළ සම්බාධක රෙගුලාසි යටතේ නම් කර ඇති පුද්ගලයෙකු සමඟ ව්‍යාපාරික සබඳතා ඇති කරගෙන පවත්වාගෙන යාම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, අදාළ පුද්ගලයා නිසි ලෙස හඳුනාගෙන තහවුරු කිරීමේ ක්‍රියාවලිය එම සමාගම විසින් සිදුකර නොමැති බවයි. ඊට අමතරව, සම්බාධක යටතේ නම් කර ඇති පුද්ගලයන් සහ ආයතන පිළිබඳ යාවත්කාලීන ලැයිස්තු සිය පාරිභෝගික දත්ත පද්ධතිය සමඟ නිසි ලෙස පරීක්ෂා කිරීමටත්, එම ලැයිස්තු කඩිනමින් පද්ධතියට යාවත්කාලීන කිරීමටත් සමාගම අපොහොසත් වී ඇති බව මහ බැංකුව පෙන්වා දෙයි. මෙම අඩුපාඩු මත 2026 අප්‍රේල් 9 වැනිදා පනවන ලද රුපියල් මිලියන 3ක දඩ මුදල අප්‍රේල් 21 වැනිදා සමාගම විසින් ගෙවා අවසන් කර තිබේ.




මේ අතර, මූල්‍ය බුද්ධි ඒකකයේ දඩයට ලක්වූ අනෙක් ආයතනය වන්නේ New Natasha (Pvt) Ltd සමාගමයි. එම සමාගමට රුපියල් 300,000ක දඩ මුදලක් පනවා ඇත්තේ, රුපියල් 200,000 ඉක්මවන ගනුදෙනු සඳහා අනුගමනය කළ යුතු අනිවාර්ය තොරතුරු ලබාගැනීමේ ක්‍රියාවලිය පැහැර හැරීම හේතුවෙනි. එවැනි ගනුදෙනුවලදී ගනුදෙනුකරුවන්ගේ අරමුදල්වල මූලාශ්‍රය, ගනුදෙනුවේ අරමුණ, රැකියාව සහ අදාළ පුද්ගලයා දේශපාලනික වශයෙන් බලපෑම් සහිත පුද්ගලයෙකු (Politically Exposed Person – PEP) ද යන්න ඇතුළු අත්‍යවශ්‍ය තොරතුරු ලබාගැනීමට එම සමාගම කටයුතු කර නොමැති බව විමර්ශනවලදී හෙළි වී තිබේ.

එමෙන්ම අවශ්‍ය හඳුනාගැනීමේ වාර්තා පවත්වාගෙන යාම, මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්තවාදයට මුදල් සැපයීමේ අවදානම් පිළිබඳ සවිස්තරාත්මක තක්සේරුවක් සිදුකිරීම සහ සම්බාධක යටතේ නම් කර ඇති පුද්ගලයන්ගේ ලැයිස්තු සමඟ ගනුදෙනුකරුවන් පරීක්ෂා කිරීම ද එම සමාගම විසින් සිදුකර නොමැති බව අනාවරණය වී ඇත. කෙසේ වෙතත්, New Natasha (Pvt) Ltd සමාගම සම්බාධක යටතේ නම් කර ඇති පුද්ගලයන් හෝ ආයතන සමඟ ව්‍යාපාරික සබඳතා පවත්වාගෙන ගිය බවට විමර්ශනයේදී අනාවරණය වී නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුව විශේෂයෙන් පැහැදිලි කරයි. 2026 මැයි 15 වැනිදා පනවන ලද මෙම දඩ මුදල ජුනි 3 වැනිදා ගෙවා ඇති බව සඳහන් වේ.



මෙලෙස සමාගම් දෙකෙන් අයකරගත් සමස්ත රුපියල් මිලියන 3.3ක දඩ මුදල රජයේ ඒකාබද්ධ අරමුදලට බැර කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් ප්‍රකාශ කරයි. මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම සම්බන්ධයෙන් මෙරට පවතින නීතිමය රාමුවට අනුකූලව කටයුතු කිරීම බලාත්මක කිරීම මූල්‍ය බුද්ධි ඒකකයේ වගකීම වන බවද එම නිවේදනය මගින් අවධාරණය කර තිබේ.

Post a Comment

Previous Post Next Post