Ajay Devgn's bungalow's unauthorized constructions demolished by the municipal council.

the-municipal-council-demolished-the-unauthorized-constructions-at-ajay-devgans-bungalow

ඉන්දියාවේ මුම්බායි නගරයේ ජූහු ප්‍රදේශයේ පිහිටි ප්‍රකට හින්දි සිනමා නළු අජේ දේව්ගන් සහ ඔහුගේ මව වන වීනා දේව්ගන්ට අයත් බංගලාවක සිදුකර තිබූ අනවසර ඉදිකිරීම් කොටස් කිහිපයක් කඩා ඉවත් කිරීමට බ්‍රිහන්මුම්බායි මහා නගර සභාව (BMC) පියවර ගෙන තිබේ. 'කපෝල් සමූපකාර නිවාස සංගමයට' (Kapole CHS) අයත් මෙම දේපළෙහි අනවසර ව්‍යුහාත්මක වෙනස්කම් සිදුකර ඇති බව අනාවරණය වීමත් සමඟ නගර සභා බලධාරීන් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත.

කෙසේ වෙතත්, අදාළ දේපළෙහි අජේ දේව්ගන් හෝ ඔහුගේ මව පදිංචිව නොසිටි බවත්, ඔවුන් එය වාණිජ කටයුත්තක් සඳහා පෞද්ගලික රූපලාවණ්‍යාගාර ජාලයකට බදු දී තිබූ බවත් බලධාරීහු පෙන්වා දෙති.




වර්ග අඩි 7,800ක් පුරා විහිදුණු මෙම ඉඩම සහ බංගලාව වසර පහක කාලසීමාවක් සඳහා 'ෆ්ලෝරියන් හියුරල් සැලූන් ප්‍රයිවට් ලිමිටඩ්' (Florian Hurel Salon Private Limited) නම් පෞද්ගලික ආයතනය වෙත බදු සහ බලපත්‍ර ගිවිසුමක් යටතේ පවරා තිබුණේ පසුගිය අගෝස්තු 10 වැනිදාය. එම පස්වසරක බදු කාලසීමාව සඳහා නියමිත සම්පූර්ණ කුලී මුදල ඉන්දීය රුපියල් කෝටි 10.61කි. අදාළ දේපළ බදු දීම වෙනුවෙන් එම නිවාස සංගමය විසින් පසුගිය ජූලි මාසයේදී වීනා දේව්ගන් සහ අජේගේ සැබෑ නම වන විශාල් දේව්ගන් යන දෙදෙනාගේ නමට විරෝධතාවක් නොමැති බවට වන සහතිකයක් (NOC) නිකුත් කර තිබූ බවද නගර සභා නිලධාරීහු සඳහන් කරති. එහෙත් දේපළෙහි කිසිදු ආකාරයක ව්‍යුහාත්මක වෙනස්කමක් සිදුකිරීමට අවසර දෙන වගන්තියක් එම ලේඛනයට ඇතුළත් කර නොතිබූ බව බලධාරීන්ගේ ප්‍රකාශයයි.

නගර සභා වාර්තාවලට අනුව, පරිශ්‍රයේ අභ්‍යන්තර කොටස් වෙනස් කරමින්, ජනෙල් සවිකර සහ බිත්ති මෙන්ම සිවිලිම් ආවරණ පැනල තැනීමට බහුලව භාවිත කරන වායුකෘත කොන්ක්‍රීට් ද්‍රව්‍යයක් වන සයිපොරෙක්ස් කුට්ටි (syporex blocks) උපයෝගී කරගනිමින් වෙන්කිරීමේ බිත්ති නීතිවිරෝධී ලෙස ඉදිකර තිබිණි. මේ හේතුවෙන් කපෝල් නිවාස සංගමයේ අදාළ දේපළ හිමියන් වෙත සැප්තැම්බර් 10 වැනිදා පළමු වැඩ නැවැත්වීමේ නිවේදනය නිකුත් කිරීමට නගර සභාව පියවර ගත්තේය. ගොඩනැඟිල්ලේ ඉදිකිරීම් කටයුතු වහාම නතර නොකළහොත්, කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව අනවසර කොටස් කඩා ඉවත් කරන බවත්, ඒ සඳහා භාවිත කරන සියලු උපකරණ සහ යන්ත්‍රෝපකරණ අයිතිකරුවන්ගේ වියදමින් සහ අවදානම මත පරිශ්‍රයෙන් ඉවත් කරන බවත් එම නිවේදනයේ අවධාරණය කර තිබිණි.




පළමු නිවේදනයෙන් පසු ඒ පිළිබඳ පැය 24ක් ඇතුළත කරුණු දක්වන ලෙස එහි රැඳී සිටි පාර්ශ්වයට නියෝග කෙරිණි. එහෙත් ඔවුන් ඉදිරිපත් කළ පිළිතුර සම්බන්ධයෙන් නගර සභා බලධාරීන් සෑහීමකට පත් නොවූ අතර, එම ඉදිකිරීම් වහාම නවත්වන ලෙස නැවත දැනුම් දුන්නද අවවාද නොතකා කටයුතු ඉදිරියටම සිදුව තිබේ. ගොඩනැඟිල්ලක් තුළ යම් ව්‍යුහාත්මක වෙනස්කමක් සිදු කරන්නේ නම් ඒ සඳහා පළාත් පාලන ආයතනයෙන් අදාළ නිසි අවසරය ලබාගත යුතු බව මුම්බායි මහා නගර සභා පනත මඟින් නියම කර ඇති මුත්, මෙම ස්ථානය වෙනුවෙන් එවැනි කිසිදු අවසරයක් නිකුත් කර නොතිබූ බව සහකාර නාගරික කොමසාරිස් චක්‍රපානි අල්ලේ 'ද ඉන්දියන් එක්ස්ප්‍රස්' වෙත පවසා ඇත. එබැවින් වැඩ නතර කිරීමට සැප්තැම්බර් මාසයේදී මාසයක කාලයක් ලබා දුන්නද ඊට එකඟ නොවීම හේතුවෙන් මෙලෙස ඉවත් කිරීමේ මෙහෙයුම දියත් කළ බව හෙතෙම තහවුරු කළේය.

ස්වෙච්ඡාවෙන්ම එම ඉදිකිරීම් නතර කිරීමට පියවර නොගැනීම හමුවේ, ඔක්තෝබර් 12 වැනිදා අදාළ කඩා ඉවත් කිරීමේ මෙහෙයුම ක්‍රියාත්මක විය. එහිදී මිටියක් ආධාරයෙන් වෙන්කිරීමේ බිත්ති සහ සිවිලිම් ඇතුළු අනවසර කොටස් සියල්ල කඩා දැමූ බව තවත් නිලධාරියෙක් සඳහන් කළ අතර, අනතුරුව සෙනසුරාදා දිනයේදී එම පරිශ්‍රයේ අවසන් නිරීක්ෂණයක් සහ වත්මන් තත්ත්වය පරීක්ෂා කිරීමක්ද සිදුකර ඇත.



මේ අතර, සෙනසුරාදා නිවේදනයක් නිකුත් කරමින් අජේ දේව්ගන්ගේ කාර්යාලය ප්‍රකාශ කර ඇත්තේ අදාළ දේපළ ඔහුගේ පෞද්ගලික නිවස නොවන බවත්, එය කුලියට දී තිබූ වෙනම දේපළක් බවත්ය. තමන් සතු එක් දේපළක් වෙනුවෙන් අවශ්‍ය අවසරයන් ලබාගැනීමට බීඑම්සී වෙත අයදුම් කර ඇති බවත්, නගර සභාවේ අදාළ සියලු රීති, රෙගුලාසි සහ මාර්ගෝපදේශ නිසි ලෙස පිළිපදිමින් සිටින බවත් එම ප්‍රකාශයේ දැක්වේ. තවද, නගර සභාවට අවශ්‍ය පරිදි සිදුකළ යුතු වූ අවශ්‍ය වෙනස්කම් සහ සංශෝධන මේ වන විටත් සිදුකර අවසන් බවද දේව්ගන්ගේ කාර්යාලය වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

the-municipal-council-demolished-the-unauthorized-constructions-at-ajay-devgans-bungalow

the-municipal-council-demolished-the-unauthorized-constructions-at-ajay-devgans-bungalow

Post a Comment

Previous Post Next Post