The full story of Anil Bandara, the youngest billionaire who deceived the country with a pyramid scheme and fell into destitution.

the-youngest-billionaire-anil-bandara-who-cheated-the-country-with-pyramid-schemes-and-ended-up-in-poverty-is-in-the-closet

කොළඹ ප්‍රධාන පෙළේ තරු පන්තියේ හෝටලයක සුඛෝපභෝගී කාමරයක් තුළ සිට ලාබාලතම බිලියනපතියා ලෙස පෙනී සිටිමින් රුපියල් කෝටි එකසිය අසූවක මහා පරිමාණ පිරමීඩ ජාවාරමක් මෙහෙයවූ පුද්ගලයෙකු වසර හයකට පසු පොලිස් දැලට කොටු වී තිබේ. අත්අඩංගුවට පත්වන අවස්ථාවේ ඔහු සිටියේ තරු පන්තියේ හෝටලයක නොව, හෝමාගම පනාගොඩ ප්‍රදේශයේ සැඟවීය.

එකල ප්‍රභූවරුන් සහ ප්‍රසිද්ධ නිළියන් පිරිවරාගෙන සිටි මේ චතුර කථිකයා පොලිසියට කොටුවන විට හැඳ සිටි සරමේ ගැටගසා තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් දහයක් සහ මිලිග්‍රෑම් පන්සියයක් ද සොයාගැනීමට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සමත් විය.




මෙම මහා පරිමාණ වංචාවේ ආරම්භය 2019 වසර දක්වා දිවයයි. හෝටල් නිවාඩු පැකේජයක් රුපියල් 18,000ක මුදලකට ලබාදෙන බව පවසමින් ෆැන්සිස් හෙට්ටිගේ අනිල් හෙවත් අනිල් බණ්ඩාර නැමැත්තා මෙම ජාවාරම ආරම්භ කර තිබුණි. චීන ජාතිකයෙකු මෙරට තුළ සිදුකළ පිරමීඩ ජාවාරමකින් උගත් පාඩම් යොදාගෙන ආරම්භ කළ මෙම ව්‍යාපාරයට පුද්ගලයන් සම්බන්ධ කරගන්නා ආකාරය හා කතා කළ යුතු අන්දම පිළිබඳව තම සේවකයන්ට අත්පොතක් පවා ලබාදීමට ඔහු කටයුතු කර ඇත. ඔහුගේ චතුර වාග් විලාසයට රැවටුණු පුද්ගලයන් ලක්ෂයක් පමණ වසර හයක් වැනි කාලයක් තුළ මෙම ජාවාරමට හසුවී ඇති බව විමර්ශනවලදී හෙළි වී තිබේ.

පසුව 'Fast 3 cycle' නමින් පවත්වාගෙන ගිය මෙම ආයතනය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තහනම් පිරමීඩ යෝජනා ක්‍රමයක් ලෙස හඳුනාගනු ලැබුවේය. ඒ, 2005 අංක 02 දරන පනතින් සංශෝධිත 1988 අංක 30 දරන පනතේ 83 (ඇ) වගන්තිය යටතේ වරදක් බව තහවුරු වීමෙන් පසුවය. එහෙත් ඒ වන විටත් සාපරාධී විශ්වාසය කඩකරමින් ඔහු රුපියල් ලක්ෂ දහඅට දහසක (රුපියල් මිලියන 1800ක) මුදලක් වංචා කර අවසන්ය.




ජාවාරමෙන් උපයාගත් මුදල්වලින් රාත්‍රී සාද පවත්වමින් සහ ප්‍රසිද්ධ නිළියන් වෙනුවෙන් අධික ලෙස මුදල් වියදම් කරමින් අති සුඛෝපභෝගී දිවියක් ගත කළ සැකකරු, එකවරම අතුරුදන් වූයේ පිරමීඩ ජාවාරම ද නතර කර දමමිනි. 18,000ක් පමණ පිරිසක් මෙම ජාවාරමට හසුවී සිටියද, 2021 වසරේ අගෝස්තු 17 වැනිදා බොරැලැස්ගමුව ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් පොලිස්පතිවරයාට කරන ලද පැමිණිල්ලකට අනුව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මේ පිළිබඳව විමර්ශන ආරම්භ කළේය. ඒ අනුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ බී 21472/2022 නඩු අංකය යටතේ කරුණු වාර්තා කර 2023 මාර්තු 02 දින ඔහුව සැකකරුවෙකු ලෙස නම් කෙරිණි. එතැන් පටන් ඔහු පොලිසිය මඟහරිමින් කට්ටි පනිමින් සැඟවී සිටියේය.

අනිල් බණ්ඩාර, කසුන් සහ සන්දීප් බණ්ඩාර යන නම්වලින් පෙනී සිටිමින් ඔහු කලින් කලට පන්නිපිටිය සහ මහරගම ප්‍රදේශවල සැඟවී සිටි බව හෙළි වී ඇත. පිරමීඩ ජාවාරම නැවැත්වූ පසු ජංගම දුරකථන භාවිතය සම්පූර්ණයෙන්ම අවම කළ ඔහු, තමන් සමීප සබඳතා පැවැත්වූ කාන්තාවන්ගේ නම්වලින් ලබාගත් දුරකථන අංක භාවිත කිරීමට තරම් සූක්ෂම විය. ඔහුව කොටුකර ගැනීමට පොලිස් නිලධාරිනියක් උපාය දූතියක් ලෙස යෙදවූවද එම උත්සාහය ද අසාර්ථක විය.



සැඟවී සිටින කාලය තුළ ඔහු සිය ජීවිකාව ලෙස තෝරාගෙන තිබුණේ ඔන්ලයින් හරහා සාස්තර කීමය. ඉන්දීය ජ්‍යෝතිර්වේදියෙකුගෙන් අන්තර්ජාලය හරහා ශාස්ත්‍රය උගත් බව කියන ඔහු 'සන්දිර හස්ත රේඛා' නමින් ව්‍යාපාරයක් පවත්වාගෙන ගියේ කිසිවෙකුවත් සෘජුව මුණනොගැසෙමිනි. ටික්ටොක් ඔස්සේ ප්‍රවර්ධනය කළ මෙම ව්‍යාපාරය හරහා ඔහු පුද්ගලයන් ලක්ෂ දහයකට පමණ සාස්තර පවසා ඇති බව පොලිසිය හමුවේ කියා ඇත. හස්ත රේඛා පරීක්ෂා කර පැය තුනකින් ප්‍රතිඵල දීමට රුපියල් 15,000ක්, දිනකින් දීමට රුපියල් 10,000ක් සහ දින තුනකින් දීමට රුපියල් 8,000ක් ලෙස පැකේජ ක්‍රමයට ඔහු මුදල් අය කර තිබුණි. සාස්තර කීමෙන් පමණක් මසකට රුපියල් ලක්ෂ හතරක පමණ ආදායමක් ලැබූ බව ද ඔහු පවසා තිබේ.

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ඉවසිලිවන්ත මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙස අවසානයේ ඔහු හෝමාගම පනාගොඩදී අත්අඩංගුවට පත්විය. නීත්‍යානුකූලව කාන්තාවන් දෙදෙනෙකු විවාහ කරගෙන සිටින ඔහුට, ඊට අමතරව දරුවන් දෙදෙනෙකු සිටින වෙනත් කාන්තාවක් සමඟ ද සමීප සබඳතාවක් තිබූ බව ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත.

තමා ජාවාරම් කළේ රුපියල් 18,000ක සුළු මුදලක් බැවින් මිනිසුන් ඒ වෙනුවෙන් පොලිසියට යාවි යැයි තමන් නොසිතූ බව ඔහු පොලිසියට පවසා තිබේ. අතිවිශාල ධනයක් ඉපැයූවද අද වන විට මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම හේතුවෙන් ඔහු සියලු දේපළ විකුණා දමා ඇති බවට තොරතුරු වාර්තා වී ඇත. වංචා කළ මුදල් සියල්ල සාද පවත්වමින්, මත්ද්‍රව්‍ය භාවිත කරමින් සහ කාන්තාවන් වෙනුවෙන් වියදම් කළ බව ඔහු පැවසුවද, එය සත්‍යයක්දැයි සෙවීමට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙනම විමර්ශනයක් ආරම්භ කර තිබේ.

දින හතක රඳවා ගැනීමේ නියෝග යටතේ ඔහුගෙන් තවදුරටත් ප්‍රශ්න කෙරේ. මෙහි ඇති අපූරුතම සිදුවීම වන්නේ, අන්තර්ජාලයෙන් පුද්ගලයන් ලක්ෂ දහයකගේ අනාගතය කියූ බව පවසන මෙම සැකකරු ලවා විමර්ශන නිලධාරීන් කිහිපදෙනෙකු සිය අත්ල පරීක්ෂා කරගැනීමයි. ඔහු ඔවුන්ට පැවසූ සාස්තර සියල්ලම සම්පූර්ණයෙන්ම අසත්‍ය බව පොලිසිය තහවුරු කළේය. මෙවැනි ජාවාරම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව ලබාදෙන උපදෙස් නිතරම පිළිපදින ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

Post a Comment

Previous Post Next Post