The crimes committed by the Rajapaksas, by paying salaries to two thousand members of Pillayan's gang through military intelligence and having Salei carry them out, are exposed.

the-crimes-that-the-rajapaksas-got-two-thousand-of-pillayans-gang-to-pay-by-military-intelligence

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් භාරයේ පසුවන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට එරෙහි නඩුකරය අද (20) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ කැඳවූ අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දැඩි ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ සැකකරු අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.




විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන පිටු 14කින් යුත් දීර්ඝ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලිප පීරිස් මහතා සඳහන් කළේ, මෙය විමර්ශනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරන බවයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ඇතුළු නිලධාරී කණ්ඩායමක් ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති නිල නිවසේදී අසාත් මවුලානා නමැත්තාගෙන් ලබාගත් දීර්ඝ ප්‍රකාශයට අනුව, දේශපාලන අවශ්‍යතාවක් ඉටුකර ගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක වූ පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන මහමොළකරු ලෙස සුරේෂ් සලේ කටයුතු කර ඇති බවට කරුණු තහවුරු වන බව හෙතෙම අධිකරණයට පෙන්වා දුන්නේය.

සහරාන් හෂීම්ගේ කල්ලියේ සාමාජිකයෙකු වූ සෙයිනි මවුලවී සහ පිල්ලයාන් එකම සිරකුටියක සිටියදී ඇතිවූ සම්බන්ධතාව හරහා මරාගෙන මැරෙන කණ්ඩායම පිළිබඳ තොරතුරු සුරේෂ් සලේ වෙත ලැබී ඇති බවත්, ඒ අනුව සහරාන් ඇතුළු ස්වයංඝාතකයින් හයදෙනෙකු පුත්තලමේදී සලේ මහතා හමුවී සාකච්ඡා කර ඇති බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අනාවරණය කළේය. එසේම ප්‍රහාරය සිදුවූ අවස්ථාවේදී සුරේෂ් සලේ විසින් අසාද් මවුලානා වෙත දුරකථන ඇමතුමක් ලබාදෙමින් ටාජ් සමුද්‍රා හෝටලය අසල සිටි දෙහිවල බෝම්බකරු වූ ජමීල් නමැත්තා සහ ඔහුගේ දුරකථනය භාරයට ගන්නා ලෙස උපදෙස් දී ඇති අතර, ජමීල් අහිංසකයෙකු බවට ප්‍රකාශ කළ වරුණ ජයසුන්දර නමැති නිලධාරියා සම්බන්ධයෙන්ද මේ වනවිට විමර්ශන ක්‍රියාත්මක බව ඔහු වැඩිදුරටත් පැවසීය.

“ස්වාමීනි…. අද දින පිටු 14 ක දීර්ඝ වාර්තාවක් ඉදිරිපත් කරනවා. මේ වාර්තාවේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් වෙනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් ෆෝ නාලිකාවට ප්‍රකාශයක් සිදුකළ අසාත් මවුලානා නමැත්තාගෙන් ප්‍රංශයේදී ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ශානි අබේසේකර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ප්‍රංශයට ගිහින් එහි ශ්‍රී ලංකා තානාපතිවරයාගේ නිල නිවසේදී තමයි මේ ප්‍රකාශය සටහන් කර ගත්තේ. ඔහු එම ප්‍රකාශය තුළින් පාස්කු ප්‍රහාරය ගැන දීර්ඝ විස්තරයක් කර තිබෙනවා. ඔහුගේ ප්‍රකාශයට අනුව තුවාන් සුරේෂ් සලේ මේ ප්‍රහාරයේ මහමොලකරු වශයෙන් කටයුතු කර තිබෙන බව පැහැදිලි වෙනවා. දේශපාලන අවශ්‍යතාවයක් ඉටුකිරීම සඳහායි එය කර තිබෙන්නේ.” යනුවෙනි. 


වැඩිදුරටත් කරුණු දක්වූ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා පැවසුවේ,


” ස්වාමීනි… අලියාර් හංදියේ ඇතිවූ ගැටුමක් සම්බන්ධයෙන් සහරාන් හෂීම්ගේ කල්ලියේ සාමාජිකයෙක් වන සෙයිනි මවුලවී බන්ධනාගාරගත වෙනවා. මේ සෙයිනි මවුලවී කියන පුද්ගලයා සහ පිල්ලයාන් සිටින්නේ එකම සිරකුටියේ. සෙයිනි මවුලවී පිල්ලයාන්ට ප්‍රකාශ කරනවා අපේ කණ්ඩායමේ ඉන්නවා මැරෙන්න සූදානම් පිරිසක් කියලා. මේ තොරතුර සැකකාර සුරේෂ් සලේට ආරංචි වෙනවා. ඔහු මේ මැරෙන්න කැමති කට්ටියගෙන් වැඩක් ගන්න කටයුතු කරනවා. ඒ අනුව තමයි සෙයිනි, සලේ සහ පිල්ලයාන් සම්බන්ධ වන්නේ. පාස්කු ප්‍රහාරයෙන් මියගිය  සහරාන් හෂීම් ඇතුළු ස්වංඝාතක ප්‍රහාරයකින් හයදෙනෙකු පුත්තලමේදී සුරේෂ් සලේ හමුවී සාකච්ඡා කරලා තිබෙනවා. පාස්කු ප්‍රහාරය  සිදුවූ අවස්ථාවේදී සැකකාර සුරේෂ් සලේ අසාද් මවුලානාට ඇමතුමක් ලබා දෙනවා. ඇමතුමක් දීලා කියනවා ටාජ් සමුද්‍රා ඒක ළඟට ගිහිල්ලා එහි සිටින පුද්ගලයෙක්ව ගන්නා ලෙසට. ඔහුගේ දුරකථනය භාරයට ගන්න කියලත් කියනවා. ඒ පුද්ගලයා තමයි දෙහිවලදී බෝම්බයක් පුරවා ගත් ජමිල් නමැත්තා. මේ ජමීල් නමැති බෝම්බකරු අහිංසක පුද්ගලයෙකු බවට වරුණ ජයසුන්දර විසින් සඳහන් කර තිබෙනවා. ඒ නිසා අපි වරුණ ජයසුන්දර නමැති නිලධාරියා සම්බන්ධයෙනුත් විමර්ශනය කරනවා” යනුවෙනි. 


වැඩිදුරටත් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා




ප්‍රහාරයෙන් අනතුරුව මහින්ද, බැසිල් සහ නාමල් රාජපක්ෂ යන මහත්වරුන් මඩකලපුව බන්ධනාගාරයට ගොස් පිල්ලයාන් හමුවී, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වී සතියකින් ඔහුව නිදහස් කරන බවට දැනුම් දී ඇති බවත්, ජනාධිපතිවරණයෙන් පසු බුද්ධි තොරතුරු වෙනත් අංශ වෙත ගමන් කිරීම වැළැක්වීම සඳහා යුද හමුදා බුද්ධි අංශ ප්‍රධානියාව සිටි සුරේෂ් සලේව සමස්ත රාජ්‍ය බුද්ධි සේවයේම ප්‍රධානියා ලෙස පත්කර ඇති බවත් පැමිණිල්ල කියා සිටියේය. ඊට අමතරව, මාස හයකින් එළඹීමට නියමිතව තිබූ මැතිවරණය තෙක් අන්තවාදී ක්‍රියා පිළිබඳ තොරතුරු වසන් කිරීම සඳහා සෙයිනි මවුලවීට ඇප ලබාගැනීමට යුද හමුදා බුද්ධි අංශය මගින් රුපියල් ලක්ෂ දෙකහමාරක මහජන මුදල් වැයකර තිබේ.

පිල්ලයාන්ගේ කල්ලියේ දෙදහසකට අධික පිරිසකට යුද හමුදා බුද්ධි අංශයෙන් වැටුප් ගෙවා ඇති බවත්, එම කල්ලිය සහ බුද්ධි අංශය එක්ව ජාතික ආරක්ෂාව වෙනුවට දේශපාලන විරුද්ධවාදීන්ගෙන් පළිගැනීම් සහ ඝාතන සිදුකර ඇති බවත් අධිකරණයට දන්වා සිටි පැමිණිල්ල, ලසන්ත වික්‍රමතුංග ඝාතනය මෙන්ම ප්‍රගීත් එක්නැලිගොඩ, කීත් නොයාර් සහ උපාලි තෙන්නකෝන් යන අයට එරෙහි අපරාධ ද මීට ඇතුළත් බව ප්‍රකාශ කළේය. මෙම ක්‍රියා දිගටම සිදුවුවහොත් තොරතුරු වසන් කිරීමේ චෝදනාව මත යුද හමුදාපතිවරයාවද සැකකරුවකු ලෙස නම් කිරීමට සිදුවන බවට දැනටමත් ලිඛිතව දැනුම් දී ඇති බවද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ප්‍රකාශ කළේය. මීට අමතරව ප්‍රහාරයෙන් පසු සුරේෂ් සලේ විසින් අසාත් මවුලානාගේ පවුලේ අයව අහුන්ගල්ලේ හෝටලයකට ගෙන්වාගෙන තානාපති කාර්යාලයක රැකියාවක් ලබාදෙන බවට පොරොන්දු වී ඇති අතර, ඊට අදාළ හෝටල් ලොග් පොත් සටහන් ද විමර්ශකයන් විසින් ලබාගෙන ඇත.



පාස්කු ප්‍රහාරයට පෙර උතුරේ හමුදා කණ්ඩායමක් කේන්ද්‍ර කරගෙන හෝ දකුණේ සමූල ඝාතනයක් සිදුකිරීමට තිබූ සැලසුම් අතහැර දමා මැතිවරණය ඉලක්ක කරගෙන පාස්කු ප්‍රහාරය දියත් කර ඇති බවටත්, මෙහි ප්‍රධානියා ලෙස සුරේෂ් සලේ කටයුතු කර ඇති බවටත් පැමිණිල්ල අවධාරණය කළේය. සැකකරුගේ ජීවිතයට තර්ජන ඇති බැවින් ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් වළකින ලෙසත්, අපරාධ නඩු විධාන සංග්‍රහයේ 127 වගන්තිය යටතේ ප්‍රකාශයක් ලබාදීමට ඔහු කරන ඉල්ලීම විමර්ශන අඩාල කිරීම සඳහා සංවිධානාත්මක කල්ලියක් විසින් දරන උත්සාහයක් බවත් පැමිණිල්ල විසින් පෙන්වා දෙනු ලැබීය.

මීට ප්‍රතිචාර දක්වමින් සැකකාර සුරේෂ් සලේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවින්ද්‍ර ප්‍රනාන්දු මහතා කියා සිටියේ, අධිකරණය හමුවේ හරස් ප්‍රශ්න ඇසීමකින් තොරව ප්‍රංශයේදී ලබාගත් බව කියන ප්‍රකාශ සාක්ෂි ලෙස පිළිගත නොහැකි බවත්, චැනල් ෆෝ යනු කිසිදු විශ්වාසනීයත්වයක් නොමැති නාලිකාවක් බවත්ය. 127 වන වගන්තිය යටතේ ලබාදුන් ප්‍රකාශවල පිටපත් විත්තිය විසින් ලබාගැනීම සහ නීතිඥ ප්‍රවේශය අධීක්ෂණය නොවීම සම්බන්ධයෙන් පැමිණිල්ල ඉදිරිපත් කළ කරුණු නීතිඥ වරප්‍රසාද සහ පරම අයිතිය උල්ලංඝනය කිරීමක් බව පැවසූ ඔහු, සිය සේවාදායකයාගේ ජීවිතයට දැඩි අවදානමක් පවතින බැවින් පෙර මහෙස්ත්‍රාත්වරයා ලබාදුන් පිළිතුර මත පදනම්ව අද දිනම ඔහුගේ ප්‍රකාශය සටහන් කරගන්නා ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙම අවස්ථාවට අගතියට පත් පාර්ශ්වය සහ අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතාද අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කළේ, රැඳවුම් භාරයේ පසුවන සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීම සුදුසු නොවන බව සිය මතය බවයි.

ඉදිරිපත් වූ සියලු පාර්ශ්වයන්හි කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා, රැඳවුම් භාරයේ සිටින සැකකරු අධිකරණයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පැමිණිල්ල කළ ඉල්ලීම සහ 127 වැනි වගන්තිය යටතේ ප්‍රකාශයක් ලබාදීමට සැකකරු කළ ඉල්ලීම පිළිබඳ නියෝගයන් එළඹෙන ජූලි මස 01 වනදා ප්‍රකාශයට පත්කරන බව නිවේදනය කළේය. එතෙක් සැකකරු රැඳවුම් නියෝග යටතේ රඳවා තබාගෙන මීළඟ නඩු දිනයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මහෙස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තවදුරටත් නියම කළේය.

the-crimes-that-the-rajapaksas-got-two-thousand-of-pillayans-gang-to-pay-by-military-intelligence

Post a Comment

Previous Post Next Post