කටුගස්තොට, මාවිල්මඩ ප්‍රදේශයේදී යකඩ කැපීමට භාවිත කරන ග්‍රයින්ඩරයකට ගෙල කැපී යාමෙන් හැට හය හැවිරිදි දෙදරු පියෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි ඩී.ජී.
පියසිරි නැමැති පුද්ගලයෙකි.අදාළ පුද්ගලයා සිය නිවස ඉදිරිපිට ඇති බැම්මක සවිකර තිබූ යකඩ කූරු කිහිපයක් කපා ඉවත් කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී මෙම අනතුරට මුහුණ දී ඇති බවට පොලීසිය සැක පළකරයි. විදුලි රැහැනක් (වයර් කෝඩ් එකක්) මාර්ගයෙන් නිවසේ සිට අදාළ ස්ථානයට විදුලිය ලබාගෙන ග්‍රයින්ඩරය ක්‍රියාත්මක කරමින් මෙම යකඩ කූරු කැපීමට ඔහු කටයුතු කර ඇති බවට මූලික පොලිස් විමර්ශන හරහා අනාවරණය වී ඇත.
මෙම මරණයට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණය මහනුවර ජාතික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් සිදුකිරීමට නියමිතව තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ක්‍රියාත්මක කර ඇති පොලීසිය මේ වන විටත් මියගිය පුද්ගලයාගේ බිරිඳ ඇතුළු පුද්ගලයින් කිහිප දෙනෙකුගෙන්ම අදාළ සිදුවීම පිළිබඳව ප්‍රකාශ සටහන් කරගෙන ඇත.
මහනුවර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාර හක්මන සහ සහකාර පොලිස් අධිකාරී සෙනෙවිරත්න යන මහත්වරුන්ගේ සෘජු උපදෙස් මත මෙම සිදුවීමට අදාළ ඉදිරි විමර්ශන කටයුතු සිදු කෙරේ. ඒ අනුව කටුගස්තොට පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්. සී. රාජපක්ෂ මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් විසින් අදාළ වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබයි.